Home > අධ්‍යාපනය > කෑම කවන යුද්දේ

කෑම කවන යුද්දේ

“මේ බලන්න සුරනි පැය දෙකක ඉදන් මන් මේ ළමයට කෑම කවනවා. කන්නෙම නෑ. කොහොමහරි කටට දාන එකත් එලියට දානවා. මට එපාවෙලා තියෙන්නේ මේ කෑම කවන යුද්දේ.ඉතින් කොහොමද මේ ළමයාගේ ඇඟට පෝෂණයක් ලැබෙන්නේ…?”

මේ අපේ පුංචි දුවා දරුවන් ඉන්න මවුවරු නගන මැසිවිල්ලකි. අලුත උපන් කිරි දරුවා මුලින්ම තොලගාන හොදම පෝෂණය නම් තම මවගේ පියයුරින් මුලින්ම එරෙන රන් කිරයි –  මෙහි ඉතා පෝෂ්‍ය පදාර්ථ ඇති බව පර්යේෂණවලින් සනාථ වී ඇත. එසේ මවු කිරෙන් පමණක් පෝෂණය වෙමින් වර්ධනයවන පුංචි පැටියාට මාස 4, 5 වනවිට අතිරේක අහාර ලබා දීම ආරම්භ කරයි. කැඳ වර්ග, පලතුරු යුෂ, අල වර්ග ආදිය මින් ප්‍රධානවේ.

මෙසේ අතිරේක ආහාර දීම ආරම්භ කිරීමෙන් පසු බොහෝ මවුවරු අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ වැරදි සිදුවේ. එහිදී අධික පෝෂණයක් ලබා දීමට ආහාර වැඩියෙන් ලබාදීම හා බලෙන් ආහාර ලබාදීම මින් ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය.

දින සති මාස ගණන් වයසින් වර්ධනයවන සිඟිත්තා සැමවිටම උත්සහ කරන්නේ විවිධ දේ පිළිබඳව කුතුහලයෙන් යුතුව සොයාබැලීමටයි. මේ නිසා ආහාර සඳහා වැඩි උනන්දුවක් නොදක්වයි. නමුත් දරුවා කුසගින්නට පත්වනවිට ආහාර ලබාදීමෙන්ද පෝෂණය ලැබෙන සේ හා දරුවා ප්‍රියකරන ලෙස ආහාර සකස්කර ලබාදීමෙන්ද දරුවා ඉතා කැමැත්තෙන් ආහාර ගෙන බඩගිනි නිවාගන්න අතරම ශරීරයට නිසි පෝෂනයක්ද ලැබේ.

නමුත් මේ වෙනුවට ඇතැම් මව්වරු සිදුකරන්නේ දරුවාට නිශ්චිත වෙලාවක් වෙන්කරගෙන උදේ, දවල්, සවස ලෙස දරුවට ආහාර බඩගිනි ඇති නොවී තිබුනද  ලබාදීමට යාමයි. එසේ කිරීමේදී පුංචි දරුවා තමන්ට බඩගිනි නොමතිකමින් ආහාර ප්‍රතික්ෂේප කරන අතර ආහාර කැවීමට මුඛය ඇරීමටද මැලිකමක් දක්වයි. කාර්යබහුල ඇතැම් මව්වරු ආහාර බලෙන් ගිල්ලවීම හෝ මුඛය ඇර බලෙන් ආහාර මුඛය තුලට දැමීමට යාමෙන් දරුවා තවතවත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරයි. මෙසේ දරුවාගේ වර්ධනය ගැන පමණක් හෝ කුස පිරිම පමණක් ගැන සිතන මව්වරු දරුවට කෑගසමින් බැන වදිමින් කෙසේ හෝ සකස්කළ කෑම සියල්ලම බලෙන් කැවීමට යයි. මෙය ඉතාමත් වැරදි ක්‍රියාවකි. මෙයින් සිදුවන්නේ ඔබේ පුංචි දරුවාට කෑම එපාවීමයි. එමනිසාම කෑම දකිනවිටද ඇතැම් දරුවන් හඬයි. මව්වරුන්ගේ මේ ආහාර අනිසි ලෙස දරුවට ලබාදීම හේතුවෙන් සමහරවිට ජීවිත කාලයටම දරුවා කෑම පිළිබඳව රුචිකත්වයක් නොදැක්වීමට පුළුවන.

එමනිසා මව්වරු දරුවන්ට ආහාර ලබාදීමේදී;

·   දරුවාට බඩගිනිවන අවස්‌ථාව හෝ වෙලාව හදුනාගන්න.

පුංචි දරුවන්ට ආහාර ලබා දෙන අතර මව්කිරිද ලබාදෙන්නේනම් දරුවාගේ කුස නිතර පිරෙන නිසා බඩගිනිවන වෙලාව වෙනස්විය හැක. අම්මගේ කෑම වෙලාව දරුවාගේ බඩගිනි වෙලාව නොවිය හැක. මීට අමතරව කෙටි අහාර එනම් බිස්කට් වැනි දෑ විටින් විට දරුවාට ලබාදෙනවිට පුංචි බඩට බඩගිනි දැනෙන්නේ නැත. එම නිසා දරුවාට බඩගිනිවනවිට ආහාර ලබාදීමට ඉවසිලිමත්වන්න

     ඔබේ දරුවා ප්‍රිය කරන ආකාරයට විවිධත්වයකින් යුතුව කෑම සකසන්න.

ඇතැම් මව්වරු ඒකාකාරී ලෙස ප්‍රධාන ආහාර වේල ලෙස ලබාදෙයි. එවිට අවශ්‍යම ආහාර පෝෂක පවා මගහරෙයි. එමනිසා දරුවාගේ ආහාර වේලට විවිධ පෝෂක ද්‍රව්‍ය දිනෙන් දින එක්කරමින් ඉතා රසවත් ලෙසත් පුංචි පැටියාගේ ඇස්වලට ප්‍රියමනාප සහ රුචිකත්වයක් ඇතිවන ආකාරයෙනුත් සකස් කිරීමට මව්වරු වගබලා ගතයුතුය. එවිට දරුවා ඉතාමත් ආසාවෙන් කුසගිනි නැතත් ආහාර ගැනීමට ප්‍රියකරන අතර ශරීර වර්ධනය හා පෝෂණය යන දෙකම නිසිලෙස සිදුවේ.

·   තම අතින්ම ආහාර ගැනීමට දරුවාව යොමුකරන්න.

පුංචි දරුවන් අපි ආහාර ගන්නාවිට වුවත් පිගානට අත දමා කෑම ටිකක් කටේ දමාගැනීමට කැමැත්තක් දක්වන බව අපි දන්නා කරුණක්. නමුත් දරුවාට කෑම කවන අවස්ථාවේදී දරුවා තම අතින් ආහාර ගැනීමට-   ආසයිනම් එසේ ලබාදීමේ වැරැද්දක් නැත. ඇතැම්විට එය අනතුරුදායක වුවත් මව දරුවා ලඟටමවී ටිකෙන් ටික කුඩා ආහාර දෙමින් එය හුරුකිරීමෙන් දරුවා තමන්ට කුසට හා බඩගින්නට සරිලනසේ ආහාර ලබාගන්නා අතර එය සතුටින් සිදුකරයි. අපේ ඇතැම් මව්වරු මෙය ප්‍රතික්ෂේප කිරීමට හේතු කිහිපයක් බලපායි. එනම් දරුවා තනිව ආහාර ගැනීමේදී මුළු ගෙයම ඇදුම් පැළදුම් ආදිය කිලිටි කරගන්න අතරම කෑම වැඩි ප්‍රමාණයක් කුසට නොයාම හා වැඩි කාලයක් ගතවීම ආදිය දැක්වමින් හේතු පහදාදෙයි. නමුත් මව්වරු ලෙස ඔබ මතක තබාගතයුතු කරුණක් ඇත. එය නම් ඔබේ දරුවා අසාවෙන් ගන්න මුල්ම කෑම කටවල් 3 , 4 හෝ කිහිපය ඔහු අකමැත්තෙන් ගන්නා කෑම කටවල් 10, 12 ට වඩා පෝෂ්‍යදායි ලෙස ශරීරයට අවශෝෂණය කරගනී.

ඇතැම් මව්වරු පුංචි පැටියාට තමන් සෑදු ආහාර පිගානම කෑ යුතුයි තක්සේරුකරගනිමින් පැටියාව අපහසුතාවයට පත්කරයි. “තව එක කටක් කන්න” කියමින් පෙරැත්ත කරන මව්වරු සිතන්නේ ඒ දරුවට ඇති ආදරය නිසා යැයි සිතුවද ඉන් සිදුවන්නේ සිඟිත්තා වයසින් වර්ධනය වූ පසුවද ආහාර පිලිබඳ සීමාවක් හා තමන්ගේ බඩගින්නට සරිලන සේ පමණක් නොකා අධිකව ආහාර ගැනීමට යාමෙන් ස්ථුලතත්වයෙන් යුතු නොයෙකුත් රෝගීභාවයන්ට පත්වීමයි. සමහර මව්වරු දරුවා කෑම ගැනීම ප්‍රතික්ෂේප කිරීම යම්කිසි රොගී තත්වයක් ලෙස අනුමාන කොට වෛද්‍යවරුන්ගේ පිහිට පතයි. නමුත් ඇත්තෙන්ම දරුවා අනෙක් ප්‍රධාන අහාර වෙනුවට වෙනත් ආහාර ගැනීමට ප්‍රියකරයිනම් නම් දරුවාගේ රෝගී තත්වයක් නොව ඔබ දරුවාට ආහාර ලබාදෙන ආකාරයේ දුර්වලතාවයකි.

ඉතින් මව්වරුනි, ඔබට හැකිනම් ඔබේ පුංචි දරුවාද ඔබගේ පවුලේ භෝජනයට එකතුකර ගැනීමට දරුවාට කවන යුද්දෙන් මිදී සියලු දෙනාම සතුටින් තමන් අතින් සැකසූ ආහාරවල රස බලනු ඇත. එය ඔබේ පවුලේ සමගියටද හේතුවනවා නොවනුමානය. ඔබ ඔබේ දරුවාට දෙන ආදරය දරුවාට ලබාදෙන ආහාර සමගද ලබාදෙන්න. එවිට දරුවාගේ පෝෂණයත් ඔබේ ආදරයත් එකවිට ලැබීම නිසා දරුවා සතුටින් නිරෝගීව බුද්ධිමත්ව ශක්තිසම්පන්නව වැඩෙනු ඇත.

#eatingmeals #kidsfood #foods #

note

error: Content Protected © mummypages.lk