Home > Latest Articles > ළමයින් රූපවාහිනිය නැරඹිය යුතුද?

ළමයින් රූපවාහිනිය නැරඹිය යුතුද?

“අම්මා, නායයාම් වලින් ගොඩක් ළමයින්ට එයාලගේ අම්මලා තාත්තලා  නැති වෙන්නේ ඇයි?  නායයාමකින් මාවත් යටවෙලා අම්මවයි තාත්තවයි නැති වෙයිද?” කියා කුඩා කාවන් එයාගේ අම්මාගෙන් ප්‍රශ්ණ කළේ රාත්‍රී 8ට පෙන්වන රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය බැලීමෙන් පසුවයි.

අවාසනාවකට, දැන් කාලේ ප්‍රවෘත්ති වශයෙන් පෙන්වන්නේ ඉතා භයානක සහ අසුභ තොරතුරු වේ.  බසයක් පොඩි පට්ටම් වීම, ගැහැණු දරුවෙක් අතවරයකට ලක්වීම හෝ ගංවතුරෙන් නායයාම් වලින් නිවෙස් යටවීම ආදී දේ ප්‍රවෘත්ති විකාශනයකදී නොපෙන්වූවොත්, එය ඉතාම කලාතුරකින් සිදුවන සිද්ධියකි.

බොහෝ විට විශේෂ ප්‍රවෘත්ති වශයෙන් පෙන්නුම් කරනු ලබන්නේ ඉතා බිහිසුණු ලේ වැගිරීම් සහ මනුෂ්‍ය හෝ සත්ත්ව ඝාතන වේ.  රේඩියෝවෙන් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් මෙන් නොව, රූපවාහිනියේ පෙන්වන දසුන් බොහෝ විට වැඩිහිටි අපටද දරාගත නොහැකි වේ. එයට හේතුව වන්නේ, එම භයානක දර්ශණ රූපවාහිනියේ පෙන්වන විට, ඒවා සත්‍ය සිදුවීම්  ලෙසම, හඬ අඩු වැඩි කිරීම් සහ හද සසල කරන අයුරින්ම පෙන්වනු ලැබේ.

එසේ නම්, දරුවන්ට රූපවාහිනියේ පෙන්වන දසුන් පිලිබඳ අවබෝධයක් ලබා දෙන්නේ කෙසේද?

  • රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීම සීමා කරන්න

කුඩා ළමුන්ට රූපවාහිනියේ පෙන්වන භයානක දර්ශණ පිලිබඳ අත්දැකීම් විඳගැනීමට තරම් පරිණත බුද්ධියක් තවමත් නොමැත.  ඒ සඳහා ඔවුන්ට තව අවුරුදු දහයක් තරම් කාලයක් ගත විය යුතුයි.  තවදුරටත් කිවහොත්, ඔවුන්ට මෙම භයානක ප්‍රවෘත්ති නැරඹීමෙන් ලබා ගත යුතු විශේෂ වූ හෝ  වැදගත් දැනුමක් නොමැත.  ඔබට අවශ්‍ය නම්, ඒවා නැරඹිය යුත්තේ ඔබේ ළමයින් නින්දට ගියාට පසුවය.

  • ළමුන් ඉදිරියේ රූපවාහිනියේ පෙන්වූ භයානක ප්‍රවෘත්ති පිලිබඳ පැවසීමෙන් වළකින්න

රූපවාහිනියේ පෙන්වූ භයානක මිනීමැරීම්, දුෂණ, බෝම්බ දැමීම් ආදී දේ කුඩා ළමුන් ඉදිරියේ සාකච්චා කිරීම නුසුදුසුය.  භයානක ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කතා කිරීමට ප්‍රථම ඔබේ දරුවන්ව සෙල්ලම් කිරීමට වෙනත් ස්ථානයකට යවන්න.

  • ඔබේ දරුවන් සමඟින් ප්‍රවෘත්ති නරඹන්න

ඔබේ දරුවන් රූපවාහිනී ප්‍රවෘත්ති නරඹයි නම්, ඔබත් ඒ සමඟ සිටිමින්, ඔවුන් නඟන ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමින් සහ එහි පෙන්වන දේවල් ඔවුන්ට පැහැදිලි කර දෙමින් ඔවුන් සමඟ සිටින්න.  භයානක දේවල් පෙන්වයි නම්, වෙනත් චැනලයකට මාරු කිරීමට ඔබට හැකි වේ.

  • සමබර දෘෂ්ඨි කෝණයක් තබා ගන්න

සමහර මිනිසුන් “නරක” සහ සමහරු “හොඳ” යැ’යිද, නරක මිනිසුන් නරක දේවල් වලට වගකිය යුතුයැ’යි කියාද, දරුවන්ට පවසන්න එපා.  නමුත්, ක්‍රියාවන් වැරදි වන්නේ කෙසේදැ’යි ඔවුන්ට පහදා දෙන්න.

  • ඔබේ දරුවන්ව ධෛර්යමත් කරන්න

නොයෙකුත් බියජනක දේ හෝ දරුවන් ඉතා සැලකිලිමත් වන දේවල් පිලිබඳ කියන දේ සාවධානව අසන්න.  එම කතා සිනාවී හෝ වැදගැම්මකට නැති දේවල් යයි සිතා පැත්තකට දමන්න එපා.  දරුවන්ට යම්කිසි කරදරයක් වනවිට, ඔබ, ඔබේ පවුලේ සාමාජිකයන් සහ අවට සමාජයේ බොහෝ මිනිසුන් දරුවන්ට පිහිට වන බව පවසා, ඔවුන්ගේ බිය දුරලන්න.  ඔබේ දරුවන් රූපවාහිනියේ පෙන්වන  භයානක සිද්ධීන් නරඹා, බියෙන්, තැති ගැන්මෙන් සිටී නම්, ඔවුන්ව අස්වසන්න.

  • විසඳුම් ලබා දෙන්න

ඔබේ දරුවන් රූපවාහිනියේ පෙන්වන භයානක දර්ශන නැරඹීමෙන් පසු, ඔවුන්ට නිදිමත වුවත්, ඔවුන් තම නිදන කාමරයට යාමට බියවන අවස්ථා ඇත.  මෙවිට, ඔවුන්ගේ බිය පහ කිරීම සඳහා බුද්ධිමත් තීරණ ගන්න.  ඔවුන්ට නින්ද යනතෙක් විදුලි පහන දල්වා තැබීමට හෝ ඔවුන් කාමරයට යාමට පෙර එම කාමරය හොඳින් පරීක්ෂා කිරීමට ඉදිරිපත් වී කාමරයේ වෙනත් කිසිවෙකු සැඟවී නැති බව ඔවුන්ට තහවුරු කරන්න.  ක්‍රමයෙන් ඔබේ දරුවන් ඔවුන්ගේ බිය සැක දුරලීමට ඉගෙන ගන්නට පටන් ගනී.

දරුවන් යම්කිසි ප්‍රමාණයකට පරිණත වී හොඳින් තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් වනතෙක් ඔවුන්ට  රූපවාහිනියේ ප්‍රවෘත්ති බැලීමට ඉඩ දෙන්න එපා. එය ඔබේ දරුවාට අනිසි බියකින් තොර සතුටුදායක ළමා කාලයක් ගත කිරීමට ඉවහල් වේ!

#kidsandtv #news #srilankannews #kidsandnews #motherfatherkidswatchnews

note

error: Content Protected © mummypages.lk