Home > Latest Articles > ළමයින් තුල හොඳ ගතිගුණ ස්ථාපිත කිරීම

ළමයින් තුල හොඳ ගතිගුණ ස්ථාපිත කිරීම

ශ්‍රී ලාංකික ළමයින්ට තම යුතුකම් ඉෂ්ට කිරීම, අවංකභාවය සහ වැඩිහිටියන්ට ගෞරව  කිරීමට කුඩා කළ සිටම පුරුදු පුහුණු කිරීම වැඩිහිටියන් සතු කාර්යභාරයකි.  තවද, දරුවන්ව පොත්පත් කියවීමට සහ ඒවායේ ඇති ජීවිතය යහමඟට ගැනීමට අවශ්‍ය නොයෙකුත් අත්‍යවශ්‍ය පාඩම් හොඳින් වටහා ගැනීමටද දරුවන්ට ඉගැන්විය යුතුයි.  ශ්‍රී ලාංකික දරුවන් තුල හොඳ ගති ගුණ ස්ථාපිත කිරීම නිසා, එම දරුවන් තුල පීඩාකාරිත්වය නොමැති වන අතර, අපේ ලාංකික සංස්කෘතිය තුලට වාණිජ්‍යත්වය ඇතුලත් කිරීමද සිදු නොවේ.

අපේ ශ්‍රී ලාංකික දරුවන් තුල සම්ප්‍රදායික සිරිත් විරිත් ඇති කරවීමට නම්, එයට හොඳම ක්‍රමය වන්නේ වැඩිහිටියන් එම සිරිත් විරිත් නිසි සේ පිළිපැඳීමයි.  ඔබට ඔබේ දරුවාව විනීත, සානුකම්පිත සහ අවංක භාවයෙන් සපිරි ගුණගරුක වැඩිහිටියෙකු බවට පත්කිරීමට අවශ්‍ය නම්, ඔබ ඒ සඳහා පියවර ගත යුත්තේ, ඔබ ඔහුට/ඇයට අනුගමනය කිරීමට සුදුසු වැඩිහිටියකු ලෙස කටයුතු කිරීමෙනි.

  • අවංක භාවය

දරුවන් ක්‍රමයෙන් වැඩෙද්දී,  ඔවුන් තම මිතුරන්ගෙන් හෝ රූපවාහිනියේ පෙන්වන සමහර වැඩ සටහන් වලින් බොරු කීමට ඉගෙන ගනී.  දරුවන් ඔබට ඇත්ත කියන විට ඔවුන්ව ඇගයීමට සහ ඔවුන්ට සුළු ත්‍යාගයන් පිරිනැමීමට පුරුදුවන්න.  නමුත්, ඔවුන් අසත්‍ය දේවල් පවසන විට, ඔවුන්ට නිසි දඬුවම් දීමටත් පසුබට නොවන්න.

  • ආචාරශීලී භාවය සහ ගරු බුහුමන් දැක්වීම

වැඩිහිටියන්ට, ගුරුවරුන්ට සහ මහණ ශ්‍රමණයන්ට ගරු බුහුමන් දැක්වීමටත්, ආචාර සම්පන්න වීමටත් ඔබේ දරුවන්ට ඉගැන්වීම අත්‍යවශ්‍ය කරුණකි.  දරුවන් වැඩිහිටියන් සමඟ එකට එක කීම, අවිනීත හැසිරීම් රටාවක් ශ්‍රී ලාංකික සංස්කෘතිය තුල නොමැත.  දරුවන් හෝ වැඩිහිටියන් නිවසින් පිටවීමේදී වැඳීම සහ විශේෂ අවස්ථාවල වැඩිහිටියන්ට බුලත් හුරුළු දී වැඳීමත්, අපේ පෞරාණික සිරිතකි.

  • කෙළෙහි ගුණ සැලකීම

දරුවන්ට එදිනෙදා ජීවිතයේ දකින, ලැබෙන අත්දැකීම් වලට ස්තුතිවන්ත වීමට පුරුදු කරන්න.  එනම්, හොඳ කාළගුණයක් පවතින විට, කෙනෙක් සිනාවකින් සංග්‍රහ කිරීම, ආදී සුළු දේවල් සුහද සිතින් විඳගැනීමට පුහුණු කරන්න.  ඒ ලෙසම, ජීවිතය තමාට ලැබෙන ආශිර්වාදයක් ලෙසත්, ආහාර, ඇඳුම් පැළඳුම්, හිසට වහළක් ලැබීම, හොඳ අධ්‍යාපනයක් ලැබීමට ඇති හැකියාව, හොඳ මිතුරන් ආශ්‍රයට ලැබීම ආදී දේවල් කෙරෙහිත් ස්තුතිවන්ත වීමට පුරුදු පුහුණු කරන්න.

  • නිර්ලෝභී භාවය

දරුවන් අනුන්ට දීමට වඩා තමන්ට ලැබෙන දේවල් කෙරෙහි සන්තෝෂ වන බව නොරහසකි.  නමුත්, මුලින්ම තම නිවසේදී, දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සහ වෙනත් ගෙදර සිටින සේවකයන් වැනි අය හා තමන්ට ලැබෙන දේවල් බෙදා හදා ගැනීමට පොළඹවන්න.  එලෙසෙම, පාසැලේදී තම මිතුරන් සමඟ බෙදාහදා ගැනීමටටත් පුරුදු කරන්න.  දරුවන්ව පුණ්‍ය කටයුතු කෙරෙහි නැඹුරු කරන්න.  එවිට දරුවන් නිර්ලෝභී වීමට නිරායාසයෙන් පුරුදු වේ.

  • සමාව දීම

සමාව දීමට පුරුදු නොවන දරුවන්, වැඩිහිටියන් වූ විටත්, එම ගතිගුණ දිගටම ගෙනයාමෙන්, අමිහිරි අත්දැකීම් ලබා ගනී.  එමනිසා, කුඩා කළ සිටම දරුවන්ට තරහ  චේතනාවන්ගෙන් මිඳී, තමන්ට අනවශ්‍ය කරදර කළ පුද්ගලයන්ට සමාව දීමට පුරුදු කරන්න.

  • වගකීම්

කුඩා කළ සිට වගකීම් දැරූ දරුවන්, වැඩිහිටියන් වූ පසුවත් වගකීම් දැරීමට නොබියව ඉදිරිපත් වේ.  දරුවන් තමන් කරන කියන දෑ – හොඳ හෝ නරක දේ – පිළිබඳව වගකීම තමන් වෙත පවරා ගැනීමට පුරුදු කරන්න.  ඔබේ දරුවන් වගකීම් දරන පුද්ගලයන් ලෙස සමාජයට මුදා හැරීමට ඔබ නිරතුරුව මහන්සි විය යුතුයි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සදාචාර ප්‍රතිපත්ති වලින් පරිපූර්ණ වේ.  සෑම අනාගත පුරවැසියෙකුටම මෙම සහජ ගතිගුණ වලින් සපිරි,  අපේ ඉපැරණි සංස්කෘතික උරුමයන් දායාද කිරීමට අප සමාජයේ වැඩිහිටියන් වග බලා ගත යුතුය

#children #goodhabit #shrilankanchildren #goodcharacteristicsofchildren

note

You may also like
දරුවන් අතර ඇති ස්ථූලභාවය
දෙමාපියනි සටන් වදිමු අධ්‍යාපනය විකිනීමට ඉඩනොදී
Parents, please come forward to protect the free education!
මවගේ ලස්සන ස්වාමියාටත් දරුවාටත් ආඩම්බරයකි.
error: Content Protected © mummypages.lk