Home > දෙමාපිය දැනගැනිම පිණිස > සුරතල් සතුන් ඇති කිරීම

දරුවන් සුරතල් සතුන් සමඟ වැඩීමෙන් ඇති ප්‍රයෝජන

“අම්මා, බලන්න ටූටි මම එනකන් ගේට්ටුව ළඟ බලාගෙන ඉන්නවා”  කියා නිමාලි සතුටෙන් පැවසුවා.  සෑම මධ්‍යහ්නයකම නිමාලිගේ සුරතලා –  ටූටි, ඇය පාසැල ඇරී එනතුරු ඇගේ නිවසේ ගේට්ටුව අසළ රැඳී සිටි. ඒ දෙදෙනාම වෙන් කළ නොහැකි ඉතා හොඳ මිත්‍රයින්ය

ශ්‍රී ලංකාවේ බොහෝ පවුල්වල දරුවන් තම පවුලේ සාමාජිකයකු ලෙස සලකන සුරතල් සතුන් සමග වර්ධනය වේ.   එම සුරතල් සතුන් වනුයේ, බොහෝ විට, පූසන්, බල්ලන්, මාළුන් හෝ ඉතා කලාතුරකින් ඉබ්බෙක් හෝ හාවෙක් විය හැකියි.  ශ්‍රී ලංකාවේ ළමයින් මෙම සුරතල් සතුන් සමඟ ඉතා දැඩි මිත්‍රත්වයකින් බැඳී සිටියි.  එම මිත්‍රත්වයට අමතරව, සුරතල් සතුන් ඇති කිරීමෙන් දරුවන්ගේ ශාරීරික, සාමාජීය, මානසික සහ සදාචාරාත්මක හැදියාවන්ද වර්ධනය වේ.

සුරතල් සතුන් නිසා දරුවන්ට ලැබෙන ප්‍රයෝජන සළකා බලමු.

  • ක්‍රියාකාරී බව වර්ධනය වීම

සුරතල් සතුන් නිවසේ ඇතිවිට ඔවුන් සමඟ දරුවන් එළිමහනේ සෙල්ලම් කිරීම බොහෝ විට සිදුවේ.  මේ නිසා දරුවන්ගේ ක්‍රියාකාරී බව – විශේෂයෙන් සහෝදර සහෝදරියන් නොමැති ළමුන්ගේ – වර්ධනය වේ.

  • සාමාජීය කුසලතා ශක්තිමත් වීම

සුරතල් සතුන් සමඟ සෙල්ලම් කරන දරුවන් (විශේෂයෙන් ලැජ්ජාශීලී දරුවන්) අළුත් යහළුවන් සමඟ එකතු වීමටද පෙළඹේ.  සුරතල් සතුන් ඔවුන්ගේ යහළුවන් කුමන තත්ත්වයේ සිටින අයදැ’යි වෙන් නොකර අපිව පිළිගන්නා අතර, දරුවන්ට කොන්දේසි විරහිත ආදරයක් සහ පක්ෂපාතිත්වයක් ලබා දෙනු ලැබේ.   මෙමඟින් දරුවන්ට ඉතා වැදගත් පාඩමක් ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබේ.

  • පරිසරය හා බැඳීම

සුරතල් සතුන්ට ආදරය සහ කරුණාව පෑමෙන්, දරුවාගේ අවට පරිසරය හා සම්බන්ධ වීමේ පළමු පාඩම ඉගෙන ගනී.  සුරතල් සතුන් ඇති කරන ළමයින්, අනෙක් සතුන් කෙරෙහි එතරම් බියක් නොදක්වන අතර, පරිසරය පිළිබඳ ඉගෙන ගැනීමට පෙළඹේ.

  • වගකීම් බාර ගැනීම

සුරතල් සතුන් ඇති කිරීමෙන් සහ ඔවුන්ට ආදරය පෑමෙන්, ඔබේ දරුවා මුල් අවදියේ සිටම වගකීම් බාර ගැනීමට,  කාර්යක්ෂම වීමට සහ තමන් පිලිබඳ විශ්වාසය තැබීමටත් පුරුදු වේ.

  • පරිත්‍යාගශීලී වීමට ඉගෙන ගනී

දරුවන්ට සාමාන්‍යයෙන් ආදරය සහ ආරක්ෂාව ලැබේ.  සුරතල් සතෙක් කෙරෙහි ආදරය පෑමෙන් සහ ආරක්ෂාව සැපයීමෙන්, ඔබේ දරුවා එම සතුන්ගේ ආරක්ෂකයා බවට පත් වේ.  මේ හේතුව නිසා, දරුවා ආත්මාර්ථකාමී නොවන, අන් අයගේ අවශ්‍යතාවන් පිලිබඳ සොයා බලන පුරවැසියෙක්  බවට පත් වේ.

  • අළුත් දේ ඉගෙන ගැනීම

ළමයින් සතුන් පිලිබඳ අළුත් දේ ඉගෙන ගැනීමට පෙළඹේ.  උදාහරණයක් වශයෙන් සත්ව විශේෂඥයින් ලඟට තම සුරතල් සතාව ගෙන යෑමෙන්, සතුන් පිළිබඳ අළුත් කරුණු අනාවරණය කර ගැනීමට දරුවාට හැකි වේ.

  • චිකිත්සක උපකාර

සුරතල් සතුන් ඇති කරන ළමයින්ගේ ප්‍රකෝපකාරිත්වය අඩුවේ.  ඔවුන් මානසික පීඩනයකට හෝ යම්කිසි දුක්ඛ අවස්ථාවකට පත් වූ විටදී, ඔවුන්ගේ සුරතලාගේ සහය පතයි.

  • ජීවන රටාව පිලිබඳ දැනුවත් වීම

සමහර අවස්ථාවකදී, ඔබේ දරුවා තම ආදරණීය සුරතලාගේ මරණයකට මුහුණ පෑමට සිදු වේ.  ශ්‍රී ලංකාවේ බොහෝ ළමයින්ට මරණයකට මුහුණ දීම ඔවුන්ගේ පළවෙනි අවස්ථාව විය හැක.  එවිට, තම ආදරණීය හිතවතෙකුගේ නැතිවීම දරා ගැනීමේ ශක්තිය ඇති කර ගැනීමට ඔවුන්ට උගන්වන්න.

සුරතල් සතුන් ඇති කිරීමෙන් ළමයින්ට ගත හැකි ප්‍රයෝජන බොහොමයක් ඇත.  කෙසේ හෝ, සුරතල් සතෙක් ඔබේ නිවසේ ඇති කිරීමට ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු බොහොමයක් වේ.

  • සුරතල් සතුන් වෙනුවෙන් මුදල් වැය කළ යුතු වේ: දරුවන් මෙන්ම, සුරතල් සතුන් වෙනුවෙන්ද, යම්කිසි මුදලක් වියදම් කළ යුතු වේ. එනම්, ඔවුන්ට ලබා දෙන ආහාර, එන්නත් සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැයවන මුදල අධිකය.
  • ජංගමතාවය සීමාසහිතය දුර ගමනක් යනවිට, සතුන්ව තබා යාමට ඇති නිවාසික පහසුකම් ශ්‍රී ලංකාවේ එතරම් නොමැත.  එසේම,  සුරතල් සතුන්ව  තබා යාමට ඇති හෝටල් ප්‍රමාණයද ශ්‍රී  ලංකාවේ ඉතා සීමිත තත්ත්වයක පවතී.
  • සුරතල් සතුන් සම්බන්ධ දේ ඔබේ දරුවා සුරතල් සතුන් සම්බන්ධයෙන්  දිනපතා ඇති වගකීම හොඳින් ඉටු කරන්නේදැ’යි සොයා බලන්න.
  • සතෙක් ඇති කිරීමට භාර ගැනීම ශ්‍රී ලංකාවේ නිවෙස් නොමැතිව සතුන් බොහෝ ප්‍රමාණයක් ඇත. සුරතල් සතුන් වෙනුවෙන් බොහෝ මුදලක් වැය කිරීමට පෙරාතුව, නිවසක් නොමැතිව අසරණව ඇති බල්ලෙක් හෝ බළලෙක් හදා ගැනීම සුදුසුය.  ඔවුන්ට ඉතා උසස් පෙළපතක් නොමැති වුවත්,  ඔවුන්ද ඔබේ පවුලේ සාමාජිකයන්ට එක සේ ආදරය දක්වනු ලැබේ.

ඒ කෙසේවෙතත් සුරතල් සතුන් ඇති කිරීමේදී යම් ආකාරයකින් ප්‍රවේශම් සහගතව කටයුතු කල යුතුවේ. ඒ මන්දයත් එම සතුන්ගේ සපා කෑම්වලට සීරිම්වලට දරුවා ලක්විය හැක. තවද සතුන්ගේ ඇති ලෝම විස සහිතවන නිසා ඒවා දරුවාගේ ශරීරයට ඇතුල්වී ලෙඩ රෝග පවා ඇතිකළ හැක. විශේෂයෙන් ඇදුම හා පීනස ආශ්‍රිත රෝග තත්ත්ව ඇති දරුවන්ගෙන් ලෝම වැඩි සතුන් ඈත් කර තැබීම වඩා හොදය. එසේම සමහර සතුන්ගේ ඛේට උන්ගේ ලෝම මත තැන්පත්වී ඇති නිසා දරුවා එම සතුන් උවමනාවට වඩා ස්පර්ශ කිරීමෙන් වලක්වාගත යුතුය. තවද සුරතල් සතාට කෑම බීම සපයන භාජන නිතර පිරිසිදු කලයුතු වන අතර එසේ නොකර ඒවා දරුවා ඇල්ලීමෙන් විෂබීජ ශරීර ගත විය හැක.

සතුන් එන්නත් කිරීමෙන්, සතුන්ව නාවා සුද්ද පවිත්‍ර කිරීමෙන් සහ උන් නිතර ගැවසෙන ස්ථාන පිරිසිදුව තබා ගැනීමෙන් මෙන්ම උන් තම ශරීර කෘත්‍යන් සිදුකරන ස්ථාන ගැන සැලකිලිමත්වීමෙන් දරුවාට සිදුවන අහිතකර බලපෑම් අවමකරගත හැක. එයින් ඔබත් ඔබේ දරුවාත් සුරතල් සතුන් සමග සතුටින් හා නිරෝගිව වැඩෙනු ඇත.

හොඳින් ආදරය සහ ආරක්ෂාව ලබා දීමෙන්, සුරතල් සතුන් ඔබේ දරුවාගේ ඉතා ලඟම ආදරණීය සහෘදයා බවට පත් වන අතර එමගින් සුරතල් සතුන්ගෙන් ඔබේ දරුවාට ජීවිතය පිලිබඳ වැදගත් පාඩම් ඉගැන්වීය හැක.

#pets #therapeutichelp #whatpetsareconcernedabout #acceptingananimal

note