Home > අධ්‍යාපනය > සියළු දෙයට වඩා උතුම් නිදහස

සියළු දෙයට වඩා උතුම් නිදහස

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සමරන්නේ සෑම වසරකම පෙබරවාරි 4 වෙනිදායි.  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් අප රටට දේශපාලනික නිදහස ලැබුණේ 1948 දීය.

පෘතුග්‍රීසීන් විසින් 1505 දී අප රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගනු ලැබුවෝය. එයින් පසු, අපේ මව්රට පෘතුග්‍රීසීන්ගෙන් ලන්දේසීන් අතටද, ඉන්පසු ඉංග්‍රීසීන් අතට ද, පත් විය.  මෙම පිටරැටියන්ගේ නොයෙකුත් තාඩන පීඩන වලට ලංකාවාසීන් ලක් වූ අතර, අපගේ සම්පත් සියල්ල ඔවුන්ගේ යහපත සඳහා සූරාකනු ලැබීය.  කෙසේනමුත්,  පරදේසීන් මුළු දිවයිනම ඔවුන් අතට පත් කර ගැනීමට කළ සියළු කුමන්ත්‍රණ වළකාලමින්,  1815 වසර වනතෙක් උඩරට රාජධානිය නිදහස්ව පැවතුනි.

උඩරට පාලනය කළ පාලකයන් සමඟ ඇති වූ කලබැගෑනි හේතුකොටගෙන, ලාංකික බලලෝභී මුලාදෑනීන් නිසා උඩරට රාජ්‍යයද තම අණසකට යටත් කර ගැනීමට ඉංග්‍රීසි ජාතිකයන්ට හැකි විය. මේ සඳහා 1815 මාර්තු මාසයේ උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව, මුළු දිවයිනම බ්‍රිතාන්‍ය පාලනයට නතු වූ අතර, මෙමඟින් බොහෝ දේශපාලන සහ සාමාජීය වෙනස්කම් අප රට තුල  සිදු විය.

බ්‍රිතාන්‍ය පාලකයින්ගේ නොපනත්කම් ලාංකික ජනතාවගේ නිදහසට බොහෝ සෙයින් බලපෑවේය.  ඉතා දැඩි නීතිරීති පද්ධතියක් අපේ රටවැසියන්ට පැනවූ නිසා, ලාංකිකයන් අතර බ්‍රිතාන්‍ය පාලකයන් කෙරෙහි අසතුටුදායක තත්වයක් මතු වී, කැරළි කෝලාහල ඇතිවිය.  මෙම කැරළිවලට මූලිකව කටයුතු කළේ වීර පුරන්අප්පු, කැප්පෙටිපොළ නිලමේ සහ ගොන්ගාලේ ගොඩබණ්ඩා වැනි වීරවරයන්ය.   මෙම කැරලි කෝලාහල ලංකාවේ නිදහස ලබා ගැනීමට ඉවහල් වූ නමුත්, මෙම යුද්ධ නිසා දේශීය වීරවරයන්ගේ ජීවිත අපට අහිමි විය.

ශ්‍රී ලාංකිකයින් අප රටේ නිදහස ලබා ගැනීම සඳහා නිරතුරුව සටන් කළ අතර, බ්‍රිතාන්‍ය පාලකයින් අප රටේ ආර්ථිකය සහ සමාජය කෙරෙහි පූර්ණ බලතල අත්පත් කර ගත්තෝය.  20 වෙනි ශත වර්ෂය මුල් කාලයේදී, බුද්ධිමතුන්, විවිධ දේශප්‍රේමී සංවිධාන සමඟ එක්වී, සංවිධානාත්මක ලෙස උපාය මාර්ගයෙන් අප රටේ නිදහස ලබා ගැනීම සඳහා සංවිධාන විය.  මේ සඳහා එස්. මහින්ද හිමි, සර් පොන්නම්බලම් අරුනාචලම්, සර් පොන්නම්බලම් රාමනාතන්, ඒ. ඊ. ගුණසිංහ, එෆ්. ආර්, සේනානායක, ඊ. ඩබ්ලිව්. පෙරේරා වැනි විද්වතුන්, පොදු ජනතාවගේ ද සහය ඇතිව රාජකීය පාලනයට එරෙහිව හඬ නැංවීය.   එම සංවිධානාත්මක අරගලවල ප්‍රතිඵලයක් වශයෙන් 1948 පෙබරවාරි 4 වෙනි දින අපේ මව්බිමට නිදහස ලබා ගැනීමට හැකි විය.

ශ්‍රී ලංකාවේ ජාතික දිනය වැදගත් අවස්ථාවක් වන අතර, එයින් මිනිසුන්ගේ සිත් තුල දේශප්‍රේමය සහ ජාතික සමඟිය ඇති කෙරේ.  මෙම දිනයේ මුළු දිවයින පුරා නොයෙකුත් විශේෂ උත්සව පවත්වන අතර, ජාතික කොඩිය එසවීම, ජාතික ගීය ගැයීම සහ නොයෙකුත් සංස්කෘතික වැඩ සටහන් ද, පවත්වනු ලැබේ.

නිදහස ලැබී ශත වර්ෂ ගණනාවක් ගත වුවත්, අපේ ආර්ථික දියුණුව සහ සාමාජීය සුභ සාධනය නිසි ලෙස විධිමත් කර ගැනීම පිණිස තව බොහෝ දුරක් යා යුතු බැව් අප සැවොම දන්නා කරුණකි.   බහු-වාර්ගික සහ බහු-ආගමික ජාතීන් වෙසෙන  අපේ මව්බිමේ උන්නතිය සඳහා අප සියලු ජාතීන් අතර සමඟිය ඇති කිරීම, නිදහස් චින්තනය, නව අදහස් ඇති කිරීම, දේශප්‍රේමය සහ ජාතික අභිමානය ඇති කිරීමෙන් අප දිවයින මිහිපිට සුරපුරක් බවට පත් කළ හැකි බව නොඅනුමානය.  එවිට, අප මව්බිමේ සියලු ජාතීන්ට එදිරිවාදිකම් වලින් තොරව, එකාවන්ව  ජීවත් විය හැක.

ඉතින්, ශ්‍රී ලාංකාවේ නිදහසට නියම අරුතක් ඇති කිරීම සඳහා අපි සියලු දෙනා පෙළ ගැසෙමු!  අවුරුදු 30 ක් පුරාවට පැවතුනු වාර්ගික යුද්ධයට තම ජීවිත පරදුවට තබා, අපේ මව්බිම බේරා ගැනීමට ඉදිරිපත් වී,  තම ජීවිත පුද කළ, ආබාධිත වූ රණවිරුවන් ඇතුළුව සියලු රණවිරුවන්ට අපගේ  ආචාරය පුද කිරීමට අප නොපසුබට වෙමු !

නිදහස් දිනයට ඉතා සිතින් සුභ පතමු!

error: Content Protected © mummypages.lk