Home > අධ්‍යාපනය > ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වූ පසු

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වූ පසු

ශිෂ්‍යත්ව ප්‍රතිපල නිකුත්වූ පසු

අනේ අම්මේ මටනම් දැන් ඇතිවෙලා පන්තිම ගිහිල්ලා. කවද්ද,මේ විභාගය ඉවරවෙන්නේ..? තව මාසයයි ළමයෝ තියෙන්නේ, හොදට මහන්සිවෙලා වැඩකලොත් ඔයාට පුළුවන් ලොකු ඉස්කෝලෙකට යන්න. අනික චාමරට වඩා ඔයා ලකුණු ගන්නත් ඕනේ. ඒ නිසා පන්ති ඇරිලා ගෙදර ගිය ගමන්ම මේ ප්‍රශ්න පත්තර 2ත් කරන්න ඕනේ අද රෑ කෑමට කලින් හොදද? නැත්තම් දන්නවනේ…????

මෙසේ කියමින් අපේ බොහෝ දෙමවුපියෝ දරුවන්ව පළමු ශ්‍රේණියේ පටන් ශිෂ්‍යත්ව විභාගයේ අවසන් මොහොත වනතුරුම දරුවන්ව පන්ති ඇදගෙනයති. රෑ නිදි නොලබා කෑමක් හරියට නොගෙන මනසම අවුල්කරගෙන දරුවෝ වැඩ කරති. ප්‍රශ්න පත්තරවලට උත්තර ලියති. මේ නිසා ළමයින්ට කිසිම නිදහසක් නැත. මේ කාගේ විභාගයක්ද? මව්වරුනි පියවරුනි මේ ඔවුන්ගේ විභාගයක්ද නැතහොත් ඔබේ විභාගයක්ද?

ඔබ සිතනා පරිදි අවසානයේ කුමක් සිදුවේද? මේ ළමයින්ගෙන් කීදෙනෙක්නම් ඉහල ලකුණු ගනීද? සාමාන්‍ය ලකුණු ලබාගනීද? එය සිදුවන්නේ එම මොහොතේ දරුවා තම ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ආකාරය අනුවය. සමහරවිට පන්තියේ දුර්වල ළමයි අතර සිටින දරුවෙක් හොද ලකුණු අරන් හැමදාම පන්තියේ පළමුවෙනියා වන දක්ෂ යයි සිතන දරුවෙක් අඩු ලකුණු ගන්නට පුළුවන. සමහරවිට වාසනාවද මෙයට බලපානු ඇත. නමුත් දෙමාපියන් සිතන්නේ “අනේ! මේ ළමයා පංති කියකටනම් ගියාද? අපි මොනතරම්නම් මහන්සිවුනාද? ඒනිසා හොද ප්‍රතිපලයක් තියෙන්න ඕනේ.” යනුවෙනි.

නමුත් ඔබ මම දන්නා කාරණයක් නම් දරුවන්ගේ මනස සුළුදෙයකින් වුවත් වෙනස් විය හැක. ඔවුන් තීරණ ගන්නේ දුරදිග නොබලාය. සමහරවිට කලබල වනු ඇත. නැත්නම් තමා පාස් නොවුනොත් අම්මා තාත්තා නෑ හිතවතුන් කෙසේ සලකාවිද යන්න සිතමින් විභාගයට මුණ දෙනු ඇත. එවිට මනස නිරවුල් නොවීම නිසා සමහර අවස්ථාවල ළමුන් දන්නදේ පවා වරදවාගන්නේ මේ නිසයි. දෙමාපියන් වශයෙන් අපි ඔවුන් තේරුම්ගතයුතුයි. මන්ද ශිෂ්‍යත්වය යනු දරුවාගේ අවසාන කඩයිම නොවන බැවිනි.

පසුගිය අවුරුදුවල ශිෂ්‍යත්වය විභාග ප්‍රතිඵල නිකුත් වූ පසු දෙමාපියන් අතින් සිදුවූ වැරදි ඔබට මතක ඇතැයි මා සිතමි.

ඒ දරුවන් කෙසේනම් මේදුක් උහුලන්න ඇතිද? පුංචි මනසට මෙය කොතරම් බලපානු ඇතිද? ඇයි? මේ පුංචි කඩයිම මත දරුවාගේ ජීවිතය තීරණය කරන්නේ.

මා දන්නා එක් මගේ මිත්‍රයෙක්ඇත. ඔහු සෑම දිනකම පන්තියේ පළමුවෙනියාවිය. නමුත් ඔහුට ශිෂ්‍යත්වය ජයගැනීමට නොහැකිවිය. ඒ කෙසේ වුවත් ඔහු සාමන්‍ය පෙළ විභාගය හොදින් සමත්වී පසුව කොළඹ ප්‍රධාන පාසලකට ඇතුලත්වූ ඔහු අද ඉංජිනේරුවරයෙකි. එය මගේ අත්දැකීමකි. තවත් මෙවැනි අවස්ථා ඔබ ඕනැතරම් අසා ඇත. මා මේ ලිපියෙන් අද ඔබ දැනුවත් කරන්නේ දරුවන් තේරුම්ගැනීමට ඔබ නිතරම උත්සහ කලයුතුය යන්නයි. තවද ඔවුන්ගේ බුද්ධිය ඔවුන්ගේ අනාගතය මෙම ශිෂ්‍යත්ව විභාගය මත තීරණය කර ඔවුන්ගේ ජීවතයම අදුරු නොකරන ලෙස ඉල්ලා සිටීමටයි.

ඔබ දන්නවද?

අද කුඩා දරුවන් දරුණු තීරණගැනීමට ඉක්මනින් පෙලබෙන්නේ දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ බලපෑම්වලිනි.

තවත් කරුණක් නම්,

ලෝක ළමාදිනය ලෙස ඔක්තෝබර් 1වෙනිදා දිනය යොදාගත්තද, එම දිනටම ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කිරීම එක අතකට හොද වගේම අනිත් අතට දරුවන්ට වේදනාවකි. මන්ද ඔවුන්ට නිදහසේ ළමා ලෝකය භුක්ති විදීමට ඇති ඒ දවසත් ඔවුන්ට අහිමිවන බැවිනි. තවත් දෙයක්නම් දෙමාපියන් ඇතුලු අනිකුත් සියලුදෙනාම තේරුම්ගතයුතුයි මෙවැනි එක්දිනක් පමණක් ඔවුන්ගේ දිනය නොවනබව. සැම දිනයක්ම ඔවුන්ගේ දිනයක් වියයුතුයි. ඔවුන්ටත් නිදහසේ ජිවත්වීමට අයිතියක් ඇත.

ශිෂ්‍යත්ව විභාගය දරුවන් විභාග සදහා පුහුණු කිරීමේ විභාගයක් ලෙස පමණක් සිතන්න. මන්ද එය ඔවුන්ගේ ප්‍රථම සහ අවසාන විභාගය නොවන හෙයිනි. දෙමාපියන්, ගුරුවරු වශයෙන් අපේ යුතුකම වන්නේ සාමන්‍යපෙළ /උසස්පෙළ සදහා කුඩාකලසිටම ක්‍රමානුකුලව දරුවා හුරුකිරීම පමණයි.

මෙවර ප්‍රතිඵල නිකුත්වූ පසු දරුවන්ටවන අසහනකාරීතත්වයන් ඇතිනොවේවායි මා ප්‍රාර්ථනා කරන අතරම සියලුම දෙමාපියන්ගේ දෑස් ඇරී දරුවන්ට සාධාරණයක් ඉෂ්ට වේවායි මම mummypages.lk සමග එක්වී ප්‍රාර්ථනා කරමි.

#kids #scholarshiptestgrade5 #childrenes #motherfatherkidsrelationship

note

You may also like
දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍යය ක්‍රියාකාරකම්
ඔබගේ බබාගේ මොළය වැඩීමට උපකාරී වන දිනපතා ක්‍රියාකාරකම්
කුඩා දරුවන් සහ සංස්කෘතිය
දරුවන්ට යහළුවන් ඇතිකර ගැනීමට උදව් කරන්නේ කෙසේද?
error: Content Protected © mummypages.lk