Home > දෙමාපිය දැනගැනිම පිණිස > මසකට වරක් ඔබ පීඩාවට පත්කරන ඔසප් වේදනාව

මසකට වරක් ඔබ පීඩාවට පත්කරන ඔසප් වේදනාව

mummypages.lk-Tiki-banner

මෙලොවට බිහිවන සෑම බිළිඳියකටම යම් දිනයක යුවතියක මවක ලෙස සිය ජීවිතයට මුහුණ දීමට සිදු වෙයි. දියණියකගේ ඔසප් චක්‍රය ආරම්භ වීම, වැඩිවිය පැමිණීම ලෙස හැඳින්වෙන අතර එය මව්පදවිය ලැබීමට අවශ්‍ය මූලික සුදුසුකම සපුරාලීම යැයි පැවසුවහොත් වඩාත් නිවැරදිය.

 මෙසේ මාසිකව මුහුණදීමට සිදුවන මෙම ක්‍රියාවලිය ඇතැමෙකුට කිසිදු පීඩාකාරී තත්ත්වයක් ගෙන නාවද තවත් පිරිසකට මහත් පීඩාවක් ගෙන දෙයි. මාසිකව ඔසප් වීමේදී කොන්ද හා යටිබඩ ආශ්‍රිතව වේදනාව හටගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවද වර්තමානය වන විට තරුණ අවධියේ පසුවන 50% – 60% පමණ වන කාන්තාවන්හට තම එදිනෙදා කාර්යයන් ඉටුකරගැනීමට පවා මේ තත්ත්වය බාධාවක්ව පවතී. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මේ අධික ඔසප් වේදනාව පිළිබඳ සටහනකි.

අධික ඔසප් වේදනාව දෙයාකාරයකට ඇතිවිය හැක.

01 වැරදි ආහාර විහරණ හේතුවෙන් දෝෂ කෝපවීම නිසා හටගන්නා වූ ඔසප් වේදනාව. : (Primary dysmenorrhea) මෙය උදාවර්තා රෝගය ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වයි.

02 වෙනත් රෝග තත්‍වයක් හේතුවෙන් එහි රෝග ලක්‍ෂණයක් ලෙස හටගන්නා ඔසප් වේදනාව (Secondary dysmenorrhea)

උදාවර්තා රෝගී අවස්ථාව. (Primary dysmenorrhea)

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන වෛද්‍ය ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ මෙම රෝගය “ උදාවර්ති රෝගය” ලෙසත් අෂ්ටාංග හෘද සංහිතාවේ උදාවර්තා රෝගය ලෙසත් හඳුන්වයි.

හටගන්නා ආකාරය:

පැරණි ආයුර්වේද වෛද්‍ය සංහිතා ග්‍රන්ථවල සඳහන් වන පරිදි මල වේගය, මුත්‍ර වේගය හා රාමතෙල් යාම වැනි ස්වාභාවික වේග පිට නොකර දරා සිටීම නිතරම සිදුකිරීම මඟින් කුපිත වන වාත දෝෂය යෝනිය (එනම් “ගභාෂය”) පුරවා එමඟින් ආර්තව රුධිරය පළමුව ඉහළට ගමන් කරවා පසුව ඉතා අපහසුවෙන් පහළට යොමු වී පිටවීම හේතුවෙන් කාන්තාවට තද වේදනාව හටගන්නා බවද මේ සමගම ශාරීරික වාත දෝෂය කෝප වන බැවීන් ශාරීරික වේදනාව, වමනය, කරකැවිල්ල වැනි ලක්‍ෂණ හටගන්නා බව දක්වයි. ආර්තව රුධිරය පිට වූ වහා කාන්තාවට සුවයක් ඇති වීම මෙහි ප්‍රධාන ලක්‍ෂණයක් වේ.

රෝග ලක්‍ෂණ

■ යටි උදර හා ශ්‍රෝණි ආශ්‍රිත වේදනාව

■ බඩ බුරුල් කර පිටවීම හෝ මල බද්ධය

■ වමනය/ ඔක්කාරය

■ හිසරදය

■ කරකැවිල්ල

රෝග ලක්‍ෂණයක් ලෙස ඔසප් වේදනාව ඇතිවීම.

ඇතැම් ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වවල රෝග ලක්‍ෂණයක් ලෙසද ඔසප් වේදනාව ඇති වේ.

1 ගර්භාෂගත අර්බුද හෝ ග්‍රන්‍ථී තත්‍ව. (Fibroids or cysts)

2 වාතලා රෝග තත්‍වය. (Endometriosis)

3 පිත්තලා රෝග තත්‍වය. : (Acute infection of reproductive tract)

4 පරිඵලුතා රෝග තත්‍වය. (Pelvic inflammatory disease)

චිකිත්සාව

චිකිත්සා කිරීමට මත්තෙන් රෝගී කාන්තාව හොඳින් පරීක්‍ෂා කර බලා රෝගය සෑදීමට හේතුව සොයා බලා එය ඉවත් කිරීම මුලිකවම සිදුකළ යුතු වේ.

ඔසප් වේදනාව වෙනත් රෝග තත්ත්‍වයක රෝග ලක්‍ෂණයක් ලෙස පෙන්නුම් නොකරයි නම් මූලිකව ශරීරයේ වාත දෝෂය සමනය කිරීම සඳහා චිකිත්සා පද්ධතිය පෙළගැස්විය යුතු වේ.

ඒ සඳහා කෂාය, ක්වාථ, ගුලි, පෙති හා චූර්ණ වර්ගවලින් සැදුම්ලත් අභ්‍යන්තර චිකිත්සාවක් හා තෛල අභ්‍යාංග, ශිරෝධාරා , වස්ති ප්‍රතිකාර වැනි බාහිර චිකිත්සා පද්ධතියක්ද රෝගියාට හා රෝග තත්ත්‍වයට අනුකූල වන පරිදි යෙදිය යුතු වේ.

ඇතැම් රෝගීන් කිසිම රෝග මූලයක් නොමැතිව දිගු කලක් මානසිකව යම් ආතතියකින් පෙලීම හේතුවෙන්ද අධික ඔසප් වේදනාව ඇති වී අප වෙත යොමු වන අවස්ථා පවතී. එවැනි රෝගීන් මානසිකව අස්වසාලීම හා මානසික ආතතිය අවම කිරීමට ප්‍රතිකාර ලබාදීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යම කරුණක් වේ. හුදෙක් වේදනාව සමනයට පමණක් සීමා නොවී මෙලෙස චිකිත්සා කිරීම මඟින් ශාරීරික දෝෂ සමනය වීම හේතුවෙන් පූර්ණ නිරෝගී සුවය ලැබෙන අතර එය අමතර අහිතකර අතුරු ආබාධවලින් තොර සාර්ථක චිකිත්සා පද්ධතියක් ලෙස හැඳින්විය හැක.

දියණියකගේ ඔසප් චක්‍රය ආරම්භ වීම, වැඩිවිය පැමිණීම ලෙස හැඳින්වෙන අතර එය මව්පදවිය ලැබීමට අවශ්‍ය මූලික සුදුසුකම සපුරාලීම යැයි පැවසුවහොත් වඩාත් නිවැරදිය.

KEYWORDS:
#menstruation #menstruationdate #menstruationsinhalaarticle  #whatismenstruation    #womenmenstruationsinhalaarticle

note

error: Content Protected © mummypages.lk