Home > අලුත උපන් ළදරැවා > මව්කිරි දීම ආරම්භ කළ යුතු කාලය

මව්කිරි දීම ආරම්භ කළ යුතු කාලය

mummypages.lk-Tiki-banner

සාමාන්‍යයෙන් දරුවා ඉපදී පැය භාගයක් හෝ අවම වශයෙන් පැයක් තුළ දරුවාට මව්කිරි දීම ආරම්භ කළ යුතුය.මවකගේ ශරීරයේ මව්කිරි නිපදවීම ආරම්භ වන්නේ ඇය ගර්භණී කාලයේ පටන්මය. ඇතැම් විට දරු ප්‍රසූතියට පෙර සිටම පියයුරු මගින් කිරි ශ්‍රාවය විය හැකියි. දරුවෙක් බිහිවූ විගස පියයුරුවලින් ශ්‍රාවය වන කිරි ‘’ජීයුෂ” (colostrum)ලෙස හඳුන්වයි. මෙය පසුව ශ්‍රාවය වන කිරිවලට වඩා සංයුතියෙන් වෙනස්ය. ඝනකමින් යුක්තය. රන්වන් කහ පැහැයෙන් හෝ විනිවිද පෙනෙනසුළු ස්වභාවයකින් යුත් “ජීයුෂ” තවමත් ජීර්ණ පද්ධතිය හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරි හැටි වැඩී නොමැති අලුත උපන් බිළිඳාට ස්වභාවයෙන්ම නිර්මාණය වුණ එන්නතක් බඳුය. එහි මේද සංයුතිය සාමාන්‍ය මව්කිරිවලට වඩා අඩුය. එයට හේතුව බිළිඳාගේ ආහාර ජීර්ණ පද්ධතිය මේදය දිරවීමට තවමත් සකස් වී නොතිබීමයි. එහි ප්‍රෝටීන සංයුතිය ඉහළ අගයක් ගනී. එමෙන්ම ජීයුෂවල දරුවා ලෙඩ රෝගවලින් ආරක්‍ෂා කරන ප්‍රතිදේහ (antibodies)හා Immunoglobulin සංඝටක වැඩිපුර අඩංගු වේ. එමෙන්ම “ජීයුෂ” මෘදු විරේක ගුණයකින් යුක්තයි. එනම් දරුවාගේ ශරීරය තුළ මෙතෙක් නිපදවී ඇති කළු පැහැයෙන් යුතු තාර බඳු මළ (මිකෝනියම්) බැහැරට පිටකිරීම සඳහා “ජීයුෂ” වැදගත් වේ.

මව්කිරි දීම කළ යුත්තේ කොපමණ කාල පරතරයකින්ද? පළමු මාසය තුළ සාමාන්‍යයෙන් දිනකට 8-12 වතාවක් පමණ දරුවාට මව්කිරි ලබා දීමට සිදු විය හැකියි. මව්කිරි පහසුවෙන් දිරවයි. එබැවින් පිටිකිරි ලබාදෙන වාර ගණනට වඩා වැඩි වාර ගණනක් මව්කිරි ලබා දීමට සිදුවීම ස්වභාවිකය. දරුවාට කිරි ලබාදිය යුත්තේ ඔහුගේ අවශ්‍යතාව මතයි. එනම් ඔහුට කුසගිනි දැනුණ විටයි. ඉපදුණු විගස දරුවෙක්ට නම් කිරි ලබාදිය යුත්තේ පැය 1 ක් 2 ක් හෝ 3 කට වරක් විය හැකියි. කිරි එරීම හෙවත් පියයුරු තුළ කිරි නිපදවීම සිදුවන්නේ දරුවා කිරි උරා බොන ප්‍රමාණයටයි. දරුවා ක්‍රමයෙන් වැඩෙන විට කිරි දීම සඳහා වඩාත් ක්‍රමවත් රටාවක් ඇතිකර ගත හැකියි. ඇතැම් විට මෙය පැයකට වරක් පැය 2-3 කට වරක් හෝ විය හැකියි. නමුත් කිසි විටෙකත් දරුවා කිරි උරා බීම් දෙකක් අතර පරතරය පැය 4 කට වඩා නොවැඩි විය යුතුය.

බිළිඳාගේ කිරි බඩගින්න හඳුනාගත හැකි ලක්‍ෂණ

අලුත උපන් බිළිඳුන් දවසේ වැඩි ප්‍රමාණයක් ගත කරන්නේ නින්දේය. බඩගිනි දැනුණ විට අවදි වී හඬයි. නමුත් හැඬීම බිළිඳාගේ උදරයේ අපහසුතා ඇති වූ විට මෙන්ම නැපිය මාරු කිරීමට අවශ්‍ය වූ විටද සිදු කරයි.

■දරුවා හිස දෙපසට සෙලවීම (මවගේ පියයුර සොයන ආකාරයට)

■ මුඛය විවෘත කරගෙන සිටීම

■ දිව එළියට දැමීම

■ ඇඟිලි හෝ සම්පූර්ණ මිටිකරගත් අත මුඛය තුළට හොවා ගැනීම

■ කිරි උරා බොන ආකාරයට තොල් සකස් කරගැනීම

■ දරුවාට වඩාත් සමීපයේ පිහිටන කොට්ට හෝ දරුවා ඔතන රෙදි ආදියට මුඛයසමීප කිරීම වැනි ලක්‍ෂණ පෙන්වයි නම් දරුවා සිටින්නේ කුසගින්නේය. එමෙන්ම බිළිඳු කුස ප්‍රමාණවත්ව මව්කිරෙන් පිරුණු විට කිරි උරා බීමේ වේගය හා උනන්දුව අඩුවේ. පියයුරෙන් හිස ඉවතට ගනී. මෙවිට තව තවත් කිරි පෙවීම සඳහා උත්සහ නොකළ යුතුය.

KEYWORDS:
#breastfeeding #newbornbaby #babyandmother #breastfeedingtime #breastfeedingsinhalaarticle #breastfeedingarticle

note

You may also like
බබාගේ වැඩීම සහ වැදගත් සිද්ධීන්
අලුත උපන් දරුවකුට ඉක්කා වැටෙන්නේ ඇයි?
මව්කිරි දීමේ ඇති වාසි
ඔබ දන්නවාද? මව්කිරි ගැන….
error: Content Protected © mummypages.lk