Home > දෙමාපිය දැනගැනිම පිණිස > මවක් රට රැකියාවට යාමෙන් අසරණවන දරුවන්

මවක් රට රැකියාවට යාමෙන් අසරණවන දරුවන්

මවක් රට රැකියාවකට යාමෙන් අසරණ වන්නේ ඇයගේ දරුවන්ය. මන්ද මවකගෙන් ලැබෙන ආදරය, රැකවරණය උණුසුම වෙන කිසි කෙනෙකුගෙන් නොලැබෙන බැවිනි. නමුත් පවුල් සංස්ථාව තුල මවක් අසරණ වන්නේ එදිනෙදා නිවසේ මුල්‍යමය කටයුතු කරගැනීමට ඇයට මුදල් නොමැති කම, නැතිනම් ස්වාමියා නිවසට අවශ්‍ය  බඩුමුට්ටු  සහ දරුවන්ගේ අවශ්‍යතා සදහා මුදල් නොදීම ආදී නොයෙකුත් කරුණු නිසාය. ඕනෑම මවක් කැමති තම දරුවනුත් අනිත් දරුවන් මෙන් සතුටින් මෙන්ම හොද අධ්‍යාපනයක් ලබමින් නිරෝගීව ජිවත් වෙනවා දකින්න. නමුත් එම අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි වූ විට ඇය රැකියාවක් සොයා යයි. නැතිනම් කුලී වැඩක් හෝ කිරීමට පෙළඹෙයි. නමුත් ඔවුන්ට එම මුදලින් තුන්වේල පවා පිරිමසා ගත නොහැකි තත්වයක් වර්තමාන ආර්ථික ක්‍රමය තුල දැකගත හැක.

අවසානයේ ඔවුන්ගේ තීරණය වනුයේ රට රැකියාවකට ගියහොත් වැඩි මුදලක් උපාය ගත හැකි බවයි. ඒ සිතුවිල්ල සමගම ඔවුන් තුල විශාල බලාපොරොත්තු ඇතිවේ. එනම් ,දරුවන්ට සැපවත් ජිවිතයක් ලබාදීම, නිවසක් තනා ගැනීම, කාටත් අත නොපා ජිවත් වීම ආදියයි. මෙවැනි එක් ගමනක් යන තරුණ මවකට අත් වූ ඉරණම පිළිබද අපි බලමු. මෙය සත්‍ය සිදුවීමකි.

දමයන්තිගේ වයස අවුරුදු 38කි. ඇයගේ ස්වාමියා කුලීවැඩ කර ජිවත් වන්නෙකි. ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටියි. ලොකු දුවට වයස 16ක් ද, දෙවැනි පුතුගේ වයස 14ක්ද, පුංචි දියණියට අවුරුදු 05 ක්ද වෙති. ඇගේ ස්වාමියා දිනපතාම මත්පැන් බි නිවසට එන්නේය. ඔහු නමට පියෙක් වුවත් නිවසේ වියදම පවා නොදෙයි. ඒ සියලු බර පැටවුනේ දමයන්ති වෙතය. එම නිසා දමයන්ති රට රැකියාවකට යාමට තීරණය කලාය. ඇය නිවස අසල සිටින වෙනත් කාන්තාවක් මගින් ඒජන්සියක් පිළිබද තොරතුරු දැනගෙන එම කාන්තාව සමග ගොස් රට යාමට අවශ්‍ය සියලුම දේ සුදානම් කරගත් පසු ගෙදර අයට මේ පිලිබඳ පැවසුවාය. දියණියත්, පුතාත් වැඩි කැමැත්තක් එයට නොදැක්වූ අතර පොඩි දරුවාට නම් ඒ පිළිබද අවබෝධයක් නොතිබුණි. කුඩා දියණියව දමයන්තිගේ සහෝදරයාගේ නිවසේ නතර කිරීමට තීරණය ගෙන තිබුණි. ස්වාමියා නම් ඇයගේ මෙම තීරණය ගැන කැමැත්ත හෝ අකමැත්ත පල නොකළේය.

අවසානයේ දහසකුත් බලාපොරොත්තු පොදිබැදගත් එම දිනය උදා විය. ඇය ගුවන් තොටුපලින් පිටත් වුයේ තම දරුවන් හොදින් බලා ගන්න කියා පවසිමිනි. ඇත්තටම ආදරය කරන මවක්නම් කෙසේ තම දරුවන් අතහැර යන්නද? නමුත් අගහිගකම ඇයට ඔච්චං කරන විට ඒ දෙස බලා දුක් නොවී ඇය කල්පනා කලේ තම දරුවන්ගේ සතුට සහ අනාගතය පිලිබදවයි.

“මෙවැනි තත්වයකදී ඇයට දොස් පවරනු හැකිද ඔබට…..???”

ඇය ගොස් පසු දිනම තම සහෝදරයට කථා කොට කියා සිටියේ තමා කරදරයක් නැතිව පැමිණි බව ගෙදරට දැනුම් දෙන ලෙසයි. දින සති මාස ගෙවීගෙන යන අතර තමාට ලැබෙන මුදල් වලින් සුළු ප්‍රමාණයක් ළඟ තබාගෙන ඉතිරි මුදල් නිවසට යැවුවාය. ස්වාමියා එම මුදලින් කොටසක් ගෙදර වියදමට දී ඉතිරි මුදලින් සවසට හොදහැටි සප්පායම් වන්නේය. නමුත් දරුවන් පිළිබද වැඩි අවදානයක් නොදක්වුවේය.

මේ අතර කාටත් හොරෙන් යම් යම් දේ සිදුවෙමින් තිබිණ. එනම් තවමත් පාසල් යන ඇයගේ වැඩිමල් දියණිය ප්‍රේම සම්බන්දයක් පවත්වාගෙන ගිය අතර ලොකු පුතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටියේය. පවුලේ සැනසුම සතුට සොයා ගිය දමයන්තිට  අවුරුද්දක් යනවිට සියලු දේ දැනගැනීමට හැකිවුයේ තම සහෝදරයාගෙනි. වග කිව යුතු පියකු ලෙස තම යුතුකම් ඉටු නොකල පියා විසින් දරුවන් පිළිබද සොයාබලා තම වගකීම් හරි හැටි ඉටු නොකල නිසා දරුවන් ඔවුන්ගේ නිදහස සොයා ගියෝය.

දරුවන්ට රැකවරණය සහ සෙනෙහස, ආදරය නොවඩුව ලබාදීම සඳහා මවකගේ වැදගත්කම වැටහෙනවා නොවේද? අවසානයේ ඇයට අත්වුණ ඉරණම ගැන ඔබ කුමක් සිතන්නේද? මේ තොරතුරු දැනගත් වහාම උතුරා යන දරු ස්නේහයෙන් සහ දැඩි ශෝකයෙන් ඇය වැළපුනාය. ඇය හැකි ඉක්මනින් තම හාම්පුතුන්ට බොරුවක් කියා ලංකාවට ඒමට සුදානම් වුනි. එම කාලය තුල ඇය තම හාම්පුතුන්ගේ විශ්වාසය දිනාගෙන කටයුතු බැවින් ඔවුන් ඇයට ඒමට කටයුතු සුදානම් කර දුන්නෝය. දරුවා සුව වූ පසු නැවත පැමිණෙන බව දැන්වූ ඇය ලංකාවට පැමිණියාය. ඒ වනවිට දියණිය තම අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන සිටියාය. වැඩිමහල් පුතුද හිතුවක්කාරයකු ලෙස මතට ලොල් වී ජීවිතය අයාලේ යාමට ඉඩ දී තිබුනේය. කිසිවක් ගැන උනන්දුවක් නොවූ ස්වාමියා තමා එවූ මුදල්ද නැති නාස්ති කරමින් සිටියේය. අවසානයේ ඇයට සැනසීමක් වුයේ ඇගේ පුංචි දියණිය පමණි.

මෙය අද පවතින එක අවස්ථාවක් පමණි. තවත් මෙවැනි බොහෝ සිදුවීම්  මවක් විදේශගතවූ පසු මේ සමාජය තුල දැකගත හැක. ඒවානම්,

  • මවක් දුක් මහන්සි වී වැඩකරමින් උපායාගෙන එවන මුදල් පියා විසින් අයතා ලෙස පරිහරණය කිරීම.
  • නිවස තුලම විවිධ අඩත්තේට්ටම්වලට මුහුණ දීමට දරුවන්ට සිදුවීම.
  • මවගෙන් නොලැබෙන ආදරය රැකවරණය වෙනත් අයගෙන් සොයා යාම නිසා සමාජයේ දැඩි අසරණතාවයකට පත්වීම.
  • පියා හෝ සහෝදරයින් හෝ පවුලේ ලඟම නාදයකු හෝ අසල්වැසියකු අතින් අපයෝජනයට භාජනය වීම.
  • බාල වයස්කාර දරුවන් ප්‍රේම සම්බන්ධතාවලින් ජීවිත විනාශ කරගෙන සිටීම.

මෙවැනි අපරාධවලින් විනාශ වන්නේ අපේ පුංචි අහිංසක දරු පැටව් නොවේද? මෙවනිමවූ තවත් සත්‍ය සිදුවීමක් මා ඔබට ගෙන එන්නම්. මෙය මිට වසර 5කට පමණ ඉහත සිදුවූ සත්‍ය අත්දැකීමක්.

දිනක් මා මගේ දියණිය අසනීපවී රෝහල්ගත කෙරිණි. එම අවස්ථාවේදී මට දින දෙකක තුනක් රෝහලේ නේවාසිකව ඇයගේ ප්‍රතිකාර සඳහා නැවතීමට සිදුවිය. මා දුවත් සමග සිටින අවස්ථාවේ එක මහලු මවක් මන්ද මානසික තත්ත්වයේ සිටි වයස අවුරුදු 14ක් පමණ වයසක පසුවූ ගැහැණු දරුවකු සමග නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියාය. දිනකට දෙවරක් පමණ පොලිස් කාන්තාවක් ඇය සමග කතා කිරීමට උත්සහ ගත්තාය. මමද ඒ අසලම සිටි බැවින් යම් දෙයක් සිදුවී ඇති බැව් තේරුම්ගත හැකිවිය.

පසුව මම එම වයසක අම්මාගෙන් සිදුවී ඇති සියල්ල දැනගත්තෙමි. එය මට අදහා ගැනීමට පවා නොහැකි දෙයකි. මේ කතාව කෙසේනම් ඔබට කියම්දැයි කල්පනා  කලෙමි. නමුත් සියලු දෙනා මේ හිත්පිත් නැති කුරිරු මිනිසුන් ගැන අවබෝධයෙන් ක්‍රියා කලයුතුය. එම නිසා එයද මම මෙසේ ඔබ හමුවේ තබමි.

ඇයගේ මව විදේශගතව සිටියි. ඒ ඇයටද උහුලාගත් නොහැකි ප්‍රශ්න කන්දකට විසදුම් සොයා ගැනීමටය. ඇයට දරුවන් හතරදෙනෙකි. පිරිමි ළමයින් 3කි ,බාල දියණියකි. ඇයගේ වයස අවුරුදු 13කි . පිරිමි ළමුන්  හරි අධ්‍යාපනයක් නොලැබූ නිසා, පියා සමග තැන තැන ගොස් කුලී වැඩ කරමින් ජිවත් වුහ. නමුත් ඔවුන්ගේ චර්යාවනම්  අන් අයට කරදරයක් විය. දියණියගේ තනිනොතනියට සිටියේ ආච්චි අම්මා පමණයි.

මා කලිනුත් ඔබට සදහන් කලා ඇය මනසින් වර්ධනය අඩු දරුවකු බව. නමුත් ඒ අහිංසක දරුවාව මෙලොවට ජාතක කල පියාටත් අගේ සොහොයුරන්ටත් ඒ බව තියා මේ තමන්ගේ ලෙයින් උපන් දියණිය, තමන්ගේ එකම නැගණියයි යන වග අමතක වී තිබුණි. පියාවත් තම සහෝදරයනුත් ඇයට සැලකුවේ නැත. නමුත් අහිංසක අත්තම්මා කාගෙන් හෝ ඉල්ලාගෙන ඇවිත් ඇයගේ කුසගින්න නිවුවාය. නමුත් අත්තම්මා ගෙදරින් ඉවතට යන අවස්ථාවල සහ රාත්‍රී කාලයේදී ඇය නොදන්නා දෙයක් සිදුවිය. එය නම් මේ මහ පොලොව කම්පා කරවන කාරණයකි.

තම පියා සහ අගේ සොහොයුරන් තිදෙනාම මේ අහිංසක දියණියගේ පහස විදගන්නෝය. විටින් විට තම නැගණිය අතවරයට ලක් කළෝය. දිනක් අත්තම්මා එන විට ඇයගේ ශරීරයෙන් රුධිරය අධික ලෙස වහනය වන බැවින් ඇය අසරණ දරුවාගෙන් තොරතුරු විමසුවාය. ඇය ඇයට තේරේන බසින් සියලු දේ කීවාය. ආචිචි අම්මාට එය දරාගැනීමට නොහැකි විය. ඇය තම මිනිබිරිය ළයට තුරුළු කරගෙන සුසුම් හෙළුවාය. පළමුව දරුවාව රෝහල් ගත කර විටින් විට ඇය දෙවනුවට ඇය තම ජීවිතය ගැනවත් නොසිතා පොලිසියට ගොස් මේ ආරංචිය පැවසුවාය. ඇය කියා සිටියේ ඔවුන්ට උපරිම දඬුවම් දෙන ලෙසය.

මා නම් සිතන්නේ මන්දබුද්ධික මේ පාපතරයන් මිස අර අහිංසක දරුවා නොවෙයි කියායි.

මා රෝහලෙන් පිටවීමට පෙර ඇගේ ආච්චිගෙන්, වෛද්‍ය වාර්ථාවට කියූ දේ දැන ගතිමි. එනම් කාලයක සිටම දරුවා අපයෝජනයට ලක් වී ඇති බවයි. මා නම් සිතන්නේ මොවුන් තිරිසනුන්ටත් අන්ත යැයි කියාය. මෙවැනි අහිංසක දරුවන්ට කරන අපරාද වලට මොවුන්ට මරණ දඩුවමත් දඩුවමක් නොවේ කියාය. මෙවැනි සතුන්ට දිය යුතු හොදම දඩුවම වන්නේ ප්‍රධාන නගරයකට ගෙන ගොස් ගල් ගසා මරා දැමීමයි.

තවත් ඔබ මම නොදන්නා මෙවැනි අවස්ථා කොතෙකුත් ඇතිද? මේ පිළිබද අවබෝදයෙන් සිටින්න.

ආදරණිය අම්මාවරුනේ පිටරට යාමට පෙර තම ලෙයින් මෙලොවට බිහිකර තම දරුවන්ගේ රැකවරණය පිළිබද හොදින් සිතන්න. මන්ද ඔබ මුදල් සොයා පැමිණෙන විට ඔවුන්ට යම් අනතුරක් වී ඇත්නම් ඒ මුදල් වලින් ඵලක් තිබේද?අවබෝදයෙන් මේ පිළිබද සිතා බලන්න .

“අම්මේ යන්න එපා දුරු රටකට -කවුරුත් නෑ අපේ තනියට ”

මේ ගීතය ඔබේ මතකයේ ඇති බව මා සිතමි.

#motherchild #children

note

You may also like
සෑම දරුවෙක්ම දැනගත යුතු කෑම මේසයේ හොඳ පුරුදු
ළමයින් තුල හොඳ ගතිගුණ ස්ථාපිත කිරීම
ඉංග්‍රිසි අක්ෂරමාලාව කුඩා දරුවන්ට ඉගැන්වීමට ඇති පහසු ක්‍රම
ලංකාවේ ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන්