Home > අලුත උපන් ළදරැවා > බබාගේ වැඩීම සහ වැදගත් සිද්ධීන්

බබාගේ වැඩීම සහ වැදගත් සිද්ධීන්

ශ්‍රී ලංකාවේ පවුලකට අළුත් සාමාජිකයෙක්  එක්වූ විට, ඔහුව/ඇයව බලා ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.  අළුත් මවකට බබාව බලාගැනීම ඉතා  බාරදූර කාර්යයකි.  අළුතින් මව් පදවියට පත්වීමේදී මුහුණ දිය යුතු කෙටි කාලීන දුෂ්කරතාවයන්ට අමතරව, ක්‍රමයෙන් බබාගේ වැඩීමේදී   නොයෙකුත්  විශේෂ සංසිද්ධි ඇති වේ.  එම සංසිද්ධි කිහිපයක් පහත සඳහන් වේ.

මදහස 

බබාට වයස මාස 2ක් පමණ වනවිට, ඔහු හෝ ඇය සිනාසීමට පටන් ගනී.  ඔබව දැකීමේදී සහ ඔබේ කටහඩ ඇසීමේදී, ඔබේ බබා එම ශබ්දයන් දෙස හැරී බැලීමට සහ ඔබේ මුහුණ දැකීමේදී මදහස පෑමට පටන් ගනී

ඔබේ බබා ලංකාවේ ඉපදුනා  නම්, ඔහු/ඇය නිතර අඬනවා ඇති. එය සමහර කාලවල මේ රටේ ඇති දැඩි උෂ්ණත්වය නිසා විය හැකිය.  එමනිසා,  ඒ පිළිබඳ ඔබ කලබල නොවී, ඔබේ බබා අඬන්නේ ඇයිදැ’යි සොයා බැලිය යුතුයි,

සිනාසීම

ඔබේ බබාට වයස මාස 4 පමණ වනවිට, ඔබේ බබා සිනාසෙන හඬ ඇසිය හැක.  ඔවුන් විහිළු වලට සිනාසෙන හඬ, මවගේ සවන් වලට ඉතා මිහිරි සංගීත රාවයක්  වනු ඇති.   නොයෙකුත් ආකාරයෙන් උසුළු විසුළු කිරීමෙන් ඔබේ සිඟිත්තාව සිනාගැන්විය හැක.

නිදි නොමැති රාත්‍රීන්

 ඔබේ බබාට අළුත් පරිසරයට පුරුදු වීම සඳහා යම් කාලයක් ගත වේ.  අලුත් දෙමව්පියන්හට බබා රාත්‍රී කාලය පුරා නිද්‍රාවට පත් වීමට පටන් ගැනීම ඉතාම සතුටුදායක දෙයක් වේ.  කෙසේනමුත්, ශ්‍රී ලංකාවේ බොහෝ දරුවන් තම දෙමව්පියන් සමඟ නිදා ගැනීමට පෙළඹීම නිසා, රාත්‍රිය මුළුල්ලේ එක දිගට නිදා ගැනීම සඳහා ඔවුන්ට උණුසුම සහ ආරක්ෂාව නොඅඩුව ලැබේ.

දණ ගෑම

ඇසි පිය ගහන සැණින්, ඔබට නොදැනෙන පරිදි  ඔබේ දරුවාගේ වැඩීම සිදුවේ.   ඔබේ සිඟිත්තා මාස 8ට ලැබූ පසු, මුළු නිවස පුරා දණ ගෑමට පටන් ගනී. ඇත්තෙන්ම, ඔබේ දරුවා පසුපස දිව යාමෙන්, ඔබට හොඳ ව්‍යායාමයක් ලබා ගත හැක.  සමහර දරුවන් දණ ගෑමෙන් තොරව, කෙළින්ම ඇවිදීමට පටන් ගත හැකිය.

අත වැනීම

ඔබේ දඟ මල්ල, මාස 9ට ලබන විට, නොයෙකුත් ශබ්ද වලට ප්‍රතික්‍රියා දැක්වීමට ද, “බයි – බායි” යනුවෙන් අත වැනීමට ද, පටන් ගනී.

ආහාර අනුභව කිරීම

බොහෝ ළමයින් තනියම කෑම කෑමට ප්‍රිය කරන අතර, අද ලංකාවේ බොහෝ මව්වරුන් තම දරුවන්ට තනියම කෑම ගැනීමට ඉඩ ලබා දේ.  නිවසේ මෙහෙකාරිය හෝ අම්මලා දරුවන් උසුලා ගෙන, ගෙවත්ත වටේ දිව යමින්, කුරුල්ලන් සහ මල් පෙන්වමින්, කෑම කැවීමට දරන උත්සාහයන් දැන් කාලයේ පෙනෙන්නට නැත.  මාස 9 – 12 වනවිට, දරුවන්ගේ දෑත් සහ ඇඟිලි නිසියාකාරව ක්‍රියා කිරීමට පටන් ගන්නා අතර, කුඩා ආහාර කැබලි රැගෙන තම මුඛයට දමා ගැනීමට පෙළඹේ.   හොඳින් බලන්න ! මේ වයස වනවිට, ඔවුන් නොයෙකුත් ද්‍රව්‍ය පිළිබඳ අවධානය යෙදීමට පටන් ගන්නා අතර, ඔවුන් අහාර පමණක් නොව, අතට අසුවන ඕනෑම දෙයක් කටට දමා ගැනීමට පෙළඹේ.

දෙපයින් නැගිටීම

මාස 12 පමණ වනවිට, බොහෝ දරුවන් අමතර උදව්වක් නැතිව තනියම නැගිටීමට පටන් ගනී.  යම්කිසි ආධාරකයක් අල්ලා ගෙන අඩියක් දෙකක් ඇවිදීමට උත්සහ ගනී.  මෙය මාස 13 වනවිට ඔවුන්ගේ සිදුවන විශේෂ පියවරක් වේ.

කතා කිරීම

“මමා!  ඩැඩා ! අම්මා! තාත්තා! ”  බබා ඔබේ නම කියා කතා කිරීම ඇසීම තරම්  තවත් සතුටක් ඔබට නැති තරම්!  බොහෝ දුරට, බබාගේ පළවෙනි උපන් දිනය සමරන අවස්ථාවේදී, ඔවුන් හුරතල් වචන කතා කිරීමට පටන් ගනී.

ඉතින්, මෙවැනි ඉතා විශේෂ ජයග්‍රාහි පියවරවල් බොහෝ ප්‍රමාණයක් ඔබේ දරුවාගේ කුඩා අවධියේ පටන් ඔබට සැමරීමට ඇත.  එවැනි විශේෂ අවස්ථා සිදු වූ  දිනයන් සටහන් කර තබා ගැනීමෙන්, ඔබේ බබා ලොකු වූ විට, එම අවස්ථා ඔබේ දරුවා සමඟ බෙදා හදා ගත හැකිය.