Home > දෙමාපිය දැනගැනිම පිණිස > පිටරට ගිය මව්වරුන්ගේ ළමුන්

පිටරට ගිය මව්වරුන්ගේ ළමුන්

මව්වරුන් පිටරට යන්නේ ඇයි?

බොහෝ මව්වරුන් තමන්ගේ දරුවන් තනි කර දා පිටරට රැකියාවලට යන්නේ දුප්පත්කම නිසාය.  බොහෝ දෙනෙකුට හරියාකාර අධ්‍යාපනයක් නොමැති නිසා, හොඳ ආදායමක් ලබන රැකියාවක් අපේ රටේ කිරීම අපහසුය.  තවත් සමහර කාන්තාවන් පිටරට යන්නේ නිවසේ ඇති ප්‍රචණ්ඩත්වයෙන් මිදීමටය.  හේතුව කුමක් වුවත්, මෙම කාන්තාවන් සිතන්නේ,  තමන්ටත්, තම දරුවන්ටත් හොඳ අනාගතයක් ලැබීමට යම්කිසි මුදලක් ඉතිරි කර ගැනීමටය.

ළමයින්ට කුමක් සිදු වේද?

පිටරට රැකියාවට යන කාන්තාවන් තම දරුවන් බාර කරන්නේ, තම සැමියාට, තම දෙමව්පියන්ට හෝ වෙනත් ඥාතීන්ටය.  තම මවගේ ආරක්ෂාව නැති ළමුන් බොහෝ කරදර වලට මුහුණ පාති.  එනම්, මානසික, කායික, ලිංගික තාඩන පීඩන ආදිය ඉන් කිහිපයකි.  මේවා බොහෝ විට සිදු වන්නේ තම ඥාතීන්ගෙන් හෝ අසල්වැසියන්ගෙන්ය.  වැඩිවිය පත් ළමුන්ට බොහෝ විට තම බාල සොහොයුරු සොහොයුරියන්ගේ වැඩ කටයුතු තම කරට ගැනීමට සිදුවේ.

පවුල එක්ව තැබීමට මුලික වන්නේ මව්වරුන්ය.  පිටරට යන කාන්තාවන්ගේ සැමියන් බොහෝ විට, මධ්‍යසාර පානයට, ප්‍රචණ්ඩකාරීව හැසිරීමට, වෙනත් ස්ත්‍රීන්ගේ පහස පතා තම පවුල අතහැර යාමට පියවර ගන්නා බව වාර්තා පෙන්වා දෙති.  එවිට එම දරුවන්ට මව පමණක් නොව, තම පියාද අහිමි වේ.

ශ්‍රී ලංකාවේ පිටරට ගිය කාන්තාවන්ගේ දරුවන් පාසැල් කටයුතු හරියාකාරව කිරීමට පසුබට වෙන බව පෙනේ.  ඔවුන් විභාගවලට හොඳින් මුහුණ නොදෙන අතර, පාසැලේ නොයෙකුත් කලහකාරී ක්‍රියාවන් කිරීමට පෙළඹෙන බැවින්, අඩු වයසින්ම පාසැල් අධ්‍යාපනයෙන් සමු ගැනීමට සිදු වේ.

ඉහත සඳහන් කරුණු පිළිබඳව සලකා බලන කළ, රට රැකියාවල නියුතු කාන්තාවන්ගේ දරුවන්, නොයෙකුත් ප්‍රශ්න වල මුහුණ පාන අතර, ඔවුන්ගේ ඉදිරි අනාගතය ද, අඩපණ කර ගනිති.

මෙයට පිළියම කුමක්ද?

අසරණ කාන්තාවන් පිටරට රැකියාවලට යාම අපට නතර කළ නොහේ.  කෙසේ නමුත්, ඔවුන්ගේ දරුවන් මෙම ප්‍රශ්න හමුවේ බිල්ලට දීමට අපට නොහැකිය.

ප්‍රජාවක් වශයෙන්, අපි එම දරුවන්ට විශේෂ ආදරයක් සහ ආරක්ෂාවක්, පාසලේදී සහ ළඟපාත සිටිනා ළමුන්ට ලබා දිය යුතුය.  ශ්‍රී ලංකාවේ අපි, පාසැල් ගුරුතුමී, මව ලඟට දරුවාට සිටින දෙවෙනි මව ලෙස සලකන්නෙමු.  පාසැලේදී මෙම දරුවන් වෙනුවෙන් ගුරුවරුන්ට විශේෂ සැළකිල්ලක් දැක්විය හැකිය.

අප සමාජයේ සිටිනා මව්වරුන් පවුල වෙනුවෙන් උපයන විට, පියවරුන්ගේ පරණ ආකල්පද ඒ හා සමානව වෙනස් කළ යුතු වේ.  මව පිටරට රැකියාවට ගොස් සිටින විටදී, පියා, මවගෙන් දරුවන්ට විය යුතු යුතුකම්, නිවසේ ඇති නොයෙකුත් වැඩ රාජකාරි සහ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු කෙරෙහිද, වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.  එවිට, දරුවන්ට තම මව නැති අඩුපාඩුව යම්කිසි ප්‍රමාණයකට මැකී යනු ඇත.

දරුවන් රැක බලා ගැනීමෙන් හොඳ, බුද්ධිමත් සහ නිරෝගී සම්පන්න පරපුරක් සෑදීම අපේ මුළු සමාජයේම වගකීමකි.  ශ්‍රී ලංකාවේ පිටරට රැකියා සඳහා ගිය කාන්තාවන්ගේ ළමුන්ට ආරක්ෂාව සැපයීම සහ ඔවුන්ට සතුටුදායක ළමා කාලයක් ලබා දීම අපි සැමගේම යුතුකමකි.