Home > අධ්‍යාපනය > පැල සිටවමු – පරිසරය සුරකිමු!

එදා අපේ මුතුන් මිත්තෝ පැල සිටෙව්වේ ඉතා සතුටිනි. ඒ වගේම ඉතාම භක්තියෙනි.  ඒවායින් ඵල ප්‍රයෝජන ඔවුන් ලබා ගන්නවාට වඩා, ඔවුන් බලාපොරොත්තු වුයේ මතු පරපුර එයින් ඵල නෙලා ගැනීමය. ඔවුන්ගේ යුතුකම් ඔවුන්ගේ ඉහටත් උඩින් ඉටු කළෝය.  එමඟින් ඉහළ සතුටක් වින්දෝය.  ඇත්තෙන්ම, එම ඵලවල ප්‍රයෝජන ලැබුවෝ අනාගත පරපුරයි.  එසේ නම්, අද පරපුරේ යුතුකම කුමක්ද?  එම ගස් කප්පාදු කර, ඔවුන්ගේ පමණක් ඵල ප්‍රයෝජන ලබා ගැනීමද? ඔවුනගේ පමණක් බඩ වඩා ගැනීමද?

එම ක්‍රියාවන්හි ඵල ප්‍රයෝජන ලැබෙන අයුරු අද අපේ පුංචි ශ්‍රී ලංකාවේ පවතින පරිසර දුෂණයෙන් හොඳින් වටහා ගත හැක.  එනම්, හම්බන්තොට, කතරගම ආදී ප්‍රදේශ වලට තවමත් වැහි කඳුලක්වත් නැත.  මෙම තත්ත්වය පවතින්නේ දැන් මාස ගණනක් පුරාය.  ඒ අතර වර්ෂාව නිසා, හල්දෙමුල්ලේ මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාමෙන් මරණ කීයක් සිදු වී ඇද්ද?   ඊට උදාහරණ ලෙස පසු ගියදා මීරියබද්දේ සිදුවූ නායයාමද දැක්විය හැක. 400ක් අතුරුදහන් වී ඇති බවත්, 16 දෙනෙකුගේ මළ සිරුරු හමු වී ඇති බව කීවත්, අද එය හරියාකාරව ගණනය කළ නොහැක.  එදා පාසැල් ගිය දරුවන් 22 දෙනාගෙ අනාගතය කෙසේ විසඳේ ද?  ඔවුන්ගේ මව සහ පියා මොලොව අතහැර ගොස් ඇත.  ඒ පුංචි දරුවන්ගේ   හදවත් හඬා වැළපෙන අයුරු දරා ගැනීමට අපේ ලක් මවට හැකි වේවිද?  එවැනිම තව බොහෝ වතු යායවල්ද නාය යාමේ අවදානමකට මේ අවස්ථාවේ මුහුණ පා ඇත.

මෙම දුර්භාග්‍යය තවත් කෙසේ නම් ලක්වාසී අපි දරා ගන්නද?  එසේ නම්, මෙයට කළ  යුතු පිළියම් කවරේද?  ශ්‍රී ලංකාවාසී අපේම සහෝදර සහෝදරියන්, දරු දැරියන් වන වතු කම්කරුවන්ගේ අනාගතය කෙසේ විසඳේ ද?  ගහ කොළ කපා දමා, තම බඩ කට පුරවා ගන්න අධම මිනිසුනි, මේ දුක් කන්දරාවන් අසා ඔබලාගේ හදවත උණු වන්නේ නැද්ද?  එදා අපේ මුතුන් මිත්තන්, තමන්ට ප්‍රයෝජනයට වඩා අනාගත පරපුරේ ප්‍රයෝජනය තකා ඔවුන්ගේ මහළු වයසේදීත් පැල සිට වූ අයුරු ඉහත ගීයෙන් මොනොවට පැහැදිලි වේ.  එක ගසක් අද කැපුවහොත්, ඒ වෙනුවෙන් අඩුම තරමේ ගස් 10ක්වත් අදම පැල කල යුතුය.  එවිට තව අවුරුදු 15 – 20ක් යන විට, එම පැල වැඩි, අද කැපූ ගසේ අඩුව මකනු ඇත.

ලී බඩු  සෑදීමට, නිවෙස් සැදීමට, වහළ සෙවිලි කිරීම ආදී නොයෙක් දේ සඳහා, ලංකාවාසී අපි දැව යොදා ගැනීමට ආදී කාලයේ සිට පුරුදු වී ඇති බව දනිමු.  එනමුත්, මුදලට වහල් වී, හොඳින් වැඩි නැති, එනම් අරටුවවත් සෑදී නැති ගස් හොරට කපමින්, ඒවා පිටරට පටවමින්ද,  බාල ලී බඩු  සාදා විකුණමින් මිනිසුන් මුලා කර මුදල් ගරා ගන්නා ආත්මාර්ථකාමී මිනිසුනි, මඳක් නැවතී සිතා බලන්න.  ඔබේ නොහොබිනා ක්‍රියා පටිපාටියෙන්, අද අපේ මේ පුංචි රටේ  පරිසරය කම්පා වී ඇති සැටි!

තුරු ලතා ආරක්ෂා කර ගැනීමට, ලෝකයේම ඇස යොමු වී ඇති බව, නොයෙකුත් දින යොදා ගනිමින් පරිසරය ආරක්ෂා කර ගැනීමට සියළුම ලෝක වාසීන් අද වනවිට පියවර ගෙන ඇත.  එනම්, ලෝක පරිසර දිනය ජුනි 5ස් වැනිදාටත්, මිහිකතගේ දිනය අප්‍රියල් 22වෙනිදාටත්, ලෝක තෙත්බිම් දිනය පෙබරවාරි 2වෙනිදාටත්, ගස් වැවීමේ දිනය සහ ලෝක වනාන්තර දිනය මාර්තු 3 වෙනිදාට යොදා ගෙන ඇත.  නමුත්, එය එම දිනවලට පමණක් සීමාවී තිබුණහොත්, අප බලාපොරොත්තු වන සියළුම දේ ඉෂ්ඨ වේවිද?

මෙම ඛේදජනක තත්ත්වය වැළක්වීමට  හැකි සෑම පියවරක්ම ගන්නා මෙන්, මම අපේ වැඩිහිටි ජනතාවගෙන් ඉල්ලමි.  ගසක් කැපීමට පෙර දෙවරක් සිතන්න.  ගසෙන් අපේ ජීවිතයට අත්‍යවශ්‍ය ඔක්සිජන් ලබා දෙන අයුරුද, පස සෝදා යාමෙන් මහා පොළොව ආරක්ෂා කරන අයුරුද, අධික සුර්ය තාපයෙන් මිදීමට සෙවනක් සලසන අයුරුද, නිවාස සැදීමට සහ මිනිසුන් සහ සතා සිවුපාවට පවා  ආහාර සපයා දීම ආදී දේ ගැන සිතන්න.  එය අපේ ළමා පරපුරට කියා දෙන්න.  එදා අප පාසැල් යන අවදියේ කෘෂිකර්ම පාඩමට පොතේ අභ්‍යාස පමණක් නොව, කණ්ඩායම් වශයෙන් පාත්ති සාදා අපේ ආහාර වර්ග පිළියෙළ කර ගැනීමට උනන්දු කළ අයුරින් පාසැල්වල එම කර්තව්‍ය නැවත ස්ථාපිත කළ යුතුය (සමහර පාසැල් වල මෙය දැනටත් ක්‍රියාත්මක කර ඇත).

දරුවන්ගේ උපන් දිනයට පැලයක් වැවීමට දිරිමත් කරන්න.  එවිට ඔවුන් වැඩිහිටියන් බවට පත් වූ විට, ඔවුන්ගේ දරුවන්ට එහි ඵල නලා ගත හැක.  අපි අපේ දරුවන් වෙනුවෙන් ගස් ආරක්ෂා කරමු! මතු පරපුරට නිදහසේ ජීවත් වීමට සරිලන ශාන්ත පරිසරයක් ගොඩ නගමු! අපි අපේ බාල පරපුරට ගස් වැවීමට පුරුදු කරමු!

#savetree #tree #protecttheEnvironment #plantingplants

error: Content Protected © mummypages.lk