Home > ගර්භනී > දරු ප්‍රසූතියේදී මුහුණ දිය යුතු ප්‍රධාන අවස්ථා

දරු ප්‍රසූතියේදී මුහුණ දිය යුතු ප්‍රධාන අවස්ථා

දරු ප්‍රසූතියකදී පහත සඳහන් ප්‍රධාන අවස්ථා වලට මුහුණ දිය යුතු වේ.

මුල් අවධිය: ප්‍රසාරණය ආරම්භ වීම

ඔබ දරුවා ප්‍රසූති කිරීමට යන විට, ගර්භාෂයේ ග්‍රීවය නැතහොත් ගැබ් ගෙල ප්‍රසාරණය (විවෘත) වීමට පටන් ගනී.  උදරයේ ඇතිවන සංකෝචනය මගින් ගැබ් ගෙල ක්‍රමාණුකුලව මෘදු කර, එය විවෘත කිරීමට උදව් කෙරේ.   මෙම ක්‍රියාවලිය සඳහා පැය කිහිපයක් ගත වේ.  මේ අවස්ථාවේදී, ඔබ නිවසේ විවේකීව සිටිය යුතුය.  ඔබට එහා මෙහා යාමට සිතුනහොත්, හෙමිහිට එහා මෙහා ඇවිදින්න.  මෙමඟින් ඔබට යම්කිසි සහනයක් දැනෙන අතර, බබාට පහළට ඒමට ද, එය උදව් වේ.  මේ අවස්ථාවේදී සහ දරු ප්‍රසුතියේදී, ඔබ විජලනයට පත් නොවිය යුතුය.  එසේම, ශක්තිමත්ව දරු ප්‍රසුතියට මුහුණ දීම සඳහා, සැහැල්ලු ආහාරයක් ලබා ගත යුතු වේ.  මේ අවස්ථාවේදී, ඔබේ සහකරුට කියා ඔබේ පිට කොන්ද මෘදු ලෙස පිරිමැද ගන්න.  එසේම තදින් හුස්ම ගැනීමේ ව්‍යායාමය පුහුණු වන්න.  ඔබේ ගැබ්ගෙල සෙ.මී. 3ක් පමණ ප්‍රසාරණය වූවිට, ඔබට ලඟම පිහිටි රෝහලට හෝ ඔබ දරු ප්‍රසූතිය සඳහා තෝරා ගත් රෝහලට යාමට සුදුසු කාලයයි.

1. දරු ප්‍රසුතිය ආරම්භ වීම

මෙම අවස්ථාවේදී ඔබේ ගැබ්ගෙල සෙ.මී. 3 – 10 දක්වා ප්‍රසාරණය වේ.  දරු ප්‍රසුතිය ආරම්භ වූ විට, ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව නිරතුරුව ඔබවත්, අතේ රැඳී අතිධ්වනි මොනිටරයක් මඟින් හෝ හෘදවේගමානයකින් ඔබේ දරුවාගේ හෘදයවස්තුවේ ක්‍රියාකාරිත්වයත් පරීක්ෂා කරනු ලැබේ.  කලාතුරකින් ක්ලිප් (clip) එකක් ඔබේ යෝනි මාර්ගය හරහා දරුවාගේ හිසට සවි කරනු ලැබේ.   මෙම අවස්ථාවේදී  දරුවා පහළට තල්ලු කිරීමට වෙහෙස නොවෙන්නයි ඔබට අවවාද කරනු ලැබේ.  තවද දීර්ඝ සහ කෙටි හුස්ම ගැනීමට සහ පිට කිරීමට අනුබල දෙනු ලැබේ.  ගැබ් ගෙල “සම්පූර්ණයෙන්”  විවෘත කරලීම පහසු කිරීම සඳහා, ඇඳේ එක් පැත්තකට හැරී  හාන්සි වී සිටීම හෝ ඔබගේ අත් සහ දණහිස් මත සිටීමෙන් ඔබට පහසුවක් ඇති කෙරේ.  ඔබේ දරුවාගේ හිස යෝනි මාර්ගය දිගේ පිටතට ඒම සඳහා, ගැබ් ගෙල සෙ.මී. 10ක් පමණ විවෘත විය යුතුය.  නියමිත ප්‍රමාණයට ගැබ්ගෙල ප්‍රසාරණය වූ පසු, ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව දරුවාව පහළට තල්ලු කිරීම ආරම්භ කළ යුතු බව ඔබට උපදෙස් දෙනු ලැබේ.  මෙය ඔබේ පළවෙනි දරු ප්‍රසූතිය නම්, ගැබ් ගෙල ප්‍රසාරණය වීමට පැය 6 – 12 අතර කාලයක් ගතවේ.  ඊට පසු දරු ප්‍රසූති සඳහා, ඔබේ ගැබ් ගෙල පහසුවෙන් විවෘත වේ.

2.පහළට තෙරපීමට පටන් ගන්නා කාලය!

ඔබේ බබාගේ උත්පත්තිය සඳහා ඔබේ ගැබ් ගෙල සම්පූර්ණයෙන් විවෘත වූ පසු, නියමිත අයුරින් සිටිමින්, බබා පිටතට එන තෙක්, බබාව පහළට තල්ලු කිරීමට පටන් ගත යුතුය.

පහත සඳහන් ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබේ දරු ප්‍රසූතිය පහසු කර ගත හැකිය.  දරු ප්‍රසූතියට ප්‍රථම මෙම ක්‍රම අත්හදා බැලීමෙන්, ඔබට වඩාත් පහසු කුමන ඉරියව්වෙන් සිටීමදැ’යි ඔබට නිගමනය කළ හැකිය.

  • ඇඳේ හාන්සි වී සිටීමෙන් හෝ වාඩි වී සිටීමෙන් – කොට්ටයක්  ඔබේ පිටුපසට ආධාරකයක් ලෙස තබා ගැනීමෙන්
  • හිටගෙන සිටීමෙන්, ඇන තියාගෙන ඉඳගෙන සිටීමෙන්, දණ ගසා සිටීමෙන් හෝ
  • පැත්තට හැරී නිදාගෙන සිටීමෙන් (විශේෂයෙන් ඔබට ගොඩක් මහන්සි දැනුණු විටක)
  • අත් දෙකෙන් සහ කකුල් දෙකෙන් දණ ගසා සිටීමෙන් (විශේෂයෙන් ගර්භණී අවස්ථාවේදී ඔබ පිටකොන්දේ වේදනාවකින් පෙළුණේ නම්)

ඔබේ ගැබ්ගෙල සම්පූර්ණයෙන් ප්‍රසාරණය වූයේ නම්, උදර සංකෝචනය සිදුවන කාලය තුළ ඔබට දරුවාව පහළට තල්ලු කිරීමට උපදෙස් දෙනු ලැබේ.  ඔබ කුමන අවස්ථාවේදී  බබාව පහළට තල්ලු කළ යුතුදැ’යි ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව ඔබව දැනුවත් කරනු ඇත.  බබාව පහළට තල්ලු කරන අවස්ථාවේදී, පහත සඳහන් කරුණු ඔබට ප්‍රයෝජනවත් විය හැකිය.

  • සංකෝචන ක්‍රියාවලිය පටන් ගත් පසු, ගැඹුරු හුස්මක් ගෙන, දරුවාව පහලට තල්ලු කරන්න. අවශ්‍ය වේලාවන්හිදී, ගැඹුරු හුස්මක් ගෙන, සංකෝචන ක්‍රියාවලිය අවසන් වනතෙක්, පහළට තල්ලු කිරීම දිගටම කරන්න.
  • සංකෝචන ක්‍රියාවලිය අතරතුර, ඊළඟ තල්ලු කිරීම සඳහා ඔබට ශක්තිය අවශ්‍ය බැවින්, මඳක් විවේක ගන්න. සාමාන්‍යයෙන්, මෙම තල්ලු කිරීමේ ක්‍රියාවලිය පැයක් පමණ කාලයක් තුළ අවසන් වේ.

3.දරු උපත

ඔබ බබාව පහළට තල්ලු කිරීමේ ක්‍රියාවලිය පුරා, ඔබේ බබා යෝනි මාර්ගය ඔස්සේ පහළට තල්ලු වේ.  ඔබේ බබාගේ හිස පෙනෙනතෙක් මානයට එනවිට, ඔබේ වෛද්‍ය වරයා හෝ වින්නඹු මාතාව තල්ලු කිරීම නවත්වන ලෙස ඔබට උපදෙස් දෙනු ලැබේ.  ඔබගේ මුඛයෙන් හුස්ම තදින් පහතට හෙළන්නටද ඔබට උපදෙස් දෙනු ලැබේ.  මෙමඟින් ඔබේ යෝනි මාර්ගයේ මාංශ පේශීන්ට සහ සමට හානි නොකර, ඔබේ බබාගේ හිස ක්‍රමයෙන් ඉවතට එනු ලැබේ.  දරු උපතේදී, සාමාන්‍යයෙන් ඔබේ යෝනි මාර්ගය සහ අධෝමාර්ගය (ගුද මාර්ගය) ප්‍රසාරණය වන නමුත්, සමහර විට, යෝනි මාර්ගයට සුළු හෝ හානියක් නොවීමට හෝ දරු උපත ඉක්මන් කිරීම සඳහා,  ඔබේ වෛද්‍යවරයා ස්ථානීය නිර්වින්දනයක් යටතේ, එම ස්ථානයේ සුළු කැපුමක් සිදු කරනු ලැබේ.   ඔබේ බබාගේ හිස පිටතට පැමිණි පසු, බොහෝ දුරට ඔබේ දුෂ්කර කාර්යය අවසන් වේ.  තව තල්ලු කිරීම් දෙකක් ඇතුළත , ඔබේ බබාගේ මුළු ශරීරයම පහසුවෙන් පිටතට එන අතර, එම අවස්ථාවේ දී ඔබේ බබාගේ උත්පත්තිය සිදුවේ.

4.ඩිම්බ බන්ධය හෙවත් වැදෑමහ

දරු උපතේ අවසන් අදියර මෙයයි.  ඔබේ බබා ඉපදුන පසු, ඔබේ ශරීරයෙන් ඩිම්බ  බන්ධය ඉවත් කිරීම සඳහා තවදුරටත් සංකෝචනයන් ඇතිවේ.  සමහර අවස්ථාවලදී, මෙම ක්‍රියාවලිය ඉක්මන් කරවීම සඳහා එන්නතක් ලබා දෙනු ලැබේ.

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න.  මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

You may also like
Infections in Pregnancy
ඔබත් රැකියාවට යන මවක් ගර්භනී මවක්ද ?
උපතට පෙර සිට සාමාජීය පෙරහුරුව
ගර්භනී කාලයේ ඇතිවන ශ්‍රෝණි මේඛලා වේදනාව