Home > ගර්භනී > දරු ප්‍රසුතියට සුදුසු ආණ්ඩුවේ රෝහල්ද? පුද්ගලික රෝහල්ද?

දරු ප්‍රසුතියට සුදුසු ආණ්ඩුවේ රෝහල්ද? පුද්ගලික රෝහල්ද?

බොහෝ ගර්භනී මව්වරුන්ට පුද්ගලික රෝහලකට යනවාද, ආණ්ඩුවේ රෝහලකට යනවාද කියා තීරණය කිරීමට බලවත් අපහසු කටයුත්තකි.  විශේෂයෙන්ම, පුද්ගලික රෝහල් ශ්‍රී ලංකාවේ වැඩි වෙමින් පවතී. ඔබේ සියලු අවශ්‍යතාවන් හොඳින් ඉටු වීම වගේම, එයට වියදම් කළ යුතු මුදල් ප්‍රමාණයද සැලකිල්ලට ගත යුතු වේ.

පුද්ගලික රෝහල්වල ලැබෙන විශේෂ අංග ඇත.  ඒවා නම් :

ඔබ කැමති දොස්තර මහතෙකු තෝරා ගත හැක – පුද්ගලික රෝහල් වලදී ඔබ කැමති ප්‍රසව සහ නාරී විශේෂඥ දොස්තර මහතෙකු ඔබේ දරු ප්‍රසූතියට සහ බබා ලැබුනාට පසු ළමා විශේෂඥවරයෙකු තෝරා ගැනීමට හැක. obstetrician – ආණ්ඩුවේ රෝහලකදී ඔබට කැමති අයුරින් දොස්තර මහතෙකු තෝරා ගැනීමට බලාපොරොත්තු තබා ගැනීමට නොහැකිය.

සුව පහසු නවාතැන් පහසුකම් – ඔබ කැමති පරිදි තනි කාමරයක් වෙන් කර ගැනීමට පහසුකම ඇත.  ආණ්ඩුවේ රෝහලකදී, ඔබට සිටීමට සිදු වනුයේ බොහෝ දෙනෙක් සිටින වාට්ටුවකය.  සමහර විට ඇඳක් ලබා ගැනීමට හැකියාවක් නැති වීමටද ඉඩ ඇත.

සාත්තු සේවිකාවන් සහ සහායකයන්ගෙන් පුද්ගලික උපකාර ලබා ගත හැක – බොහෝ පුද්ගලික රෝහල්වල  ප්‍රමාණවත් ලෙස සාත්තු සේවිකාවන් සහ සහායකයන්  ඇත.  තවද අලුතෙන් මව්වරුන් වීමට යන කාන්තාවන්ට අවශ්‍ය උපකාර ලබා ගත හැක.  ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ රෝහල් වල සිටිනා සාත්තු සේවකයන්ට බොහෝ රෝගීන් බලා ගැනීමට ඇති නිසා, ඔවුන්ට එක් අයෙකු පමණක් බලා ගැනීමට සහ විශේෂ උපකාරයක් ලබා දීමට නොහැකිය.

ඔබේ සැමියාට හෝ මවට ඔබේ දරු ප්‍රසූතියේදී ළඟ සිටීමට ඇති හැකියාව – ඔබේ සැමියාට ඔබ ළඟ දරු ප්‍රසුතියේදී සිටිමින්, ඔහුටත් දරු ප්‍රසුතිය ගැන පළපුරුද්දක් ලබා ගැනීමට හැකි වීම

වැඩි වේලාවක් සිටිය යුතු නොවේ – ඔබගේ දොස්තර මහතාව හමු වීමට (චැනල් කිරීමට) වැඩි වෙලාවක් ගත කිරීමට අවශ්‍ය නොවේ.  ගර්භනී අවස්ථාවේ අවශ්‍ය වන පරීක්ෂණ කිරීමට දිගු පෝලිම්වල වැඩි වෙලාවක් ගත කිරීමට ද සිදු   නොවේ.  රැකියාවන් කරනා කාන්තාවන්ට මෙය ඉතා පහසුදායකය.

කෙසේ හෝ, ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහලක් දරු ප්‍රසූතිය සඳහා තෝරා ගැනීමේදී පහත සඳහන් කරුණු පරීක්ෂා කළ යුතු වේ.

එය ලාභ දායකද කියා – ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල්වලට ගෙවිය යුතු මුදල බොහෝ විට ඔබට ලැබෙන රක්ෂණ මුදලින් ආවරණය කිරීමට හැකි ප්‍රමාණයට වඩා විශාල විය හැක.  ආණ්ඩුවේ රෝහල් වලට ඇතුල් වීම ලාබදායකය.

වෛද්‍ය ප්‍රතිකාර වලට අවශ්‍ය පහසුකම් – ශ්‍රී ලංකාවේ බොහෝ පුද්ගලික රෝහල්වල දැන් අවශ්‍ය සියලු වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත.  කෙසේ නමුත්, ඔබ තෝරාගන්නා පුද්ගලික රෝහලේ අවශ්‍ය සියලු වෛද්‍ය පහසුකම් තිබේදැ’යි සැක හැර දැන ගන්න.  තවද, ඔබට දරු ප්‍රසුතියේදී හදිසි අවස්තාවකදී, ඔබට හෝ ඔබේ බබාට අවශ්‍යතාවක් ඇති වුවොත්, නියමිත ශල්‍යාගාර පහසුකම් ඇත්දැ’යි හොඳින් සොයා බලන්න

ඔබේ තීරණයට පෙර ඉතා හොඳ ගවේෂණයක් කර බලන්න.  අනෙක් අලුතෙන් මව්වරුන් බවට පත්වූ ඔබේ යහළුවන්ගෙන් සහ පව්ලේ සාමාජිකයින්ගෙන් උපදෙස් ලබා ගන්න.  පහසුකම්, වාතවරණය සහ හෙදි සේවාව පරීක්ෂා කිරීම සඳහා,  දරු ප්‍රසූතියට ප්‍රථම  රෝහල් වලට ගොස් හොඳින් පරීක්ෂා කර බලා,  සුදුසු තීරණයකට එළබෙන්න.

බොහෝ පුද්ගලික රෝහල්වල දැන් දරු ප්‍රසූති සඳහා පැකේජවල් ලබා දෙනු ලැබේ.  මෙම පැකේජවල ඔබ අමතර ගෙවිය යුතු ගාස්තු මොනවාදැ’යි හොඳින් සොයා බලන්න.  ඔබ තෝරා ගන්නා රෝහල, ඔබට සහ බබාට  අවශ්‍ය සියලු පහසුකම් වලින් සහ හොඳ සේවයක් ලබා දෙනවාදැ’යි සොයා බලන්න.