Home > දෙමාපිය දැනගැනිම පිණිස > දරුවන් මෙල්ල කරන ආයුධය ”දඩුවම”ද ?

දරුවන් මෙල්ල කරන ආයුධය ”දඩුවම”ද ?

mummypages.lk-arc

”අලියන්ටයි ළමයින්ටයි නළියන්ටමයි හිත”කියන්නේ නිකමටද? පුංචි දරුවන් හරිම ප‍්‍රබෝධමත්, හරිම ක‍්‍රියාශීලියි. ඉතින් එක තැනක තියාගන්න එක නම් බොහොම අසීරු කටයුත්තක්. ඒ අතර අපේ දරුවෝ හිතුවක්කාර පොඩි පොඩි නරක වැඩ කරන්නත් පුළුවන්. සමහර වෙලාවට අපි කියන දේවල් ඇහෙන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ, අනිත් එක අපි කියන දේ තත්පරෙන් දෙකෙන් අමතක වෙනවා. එකම දේ දෙතුන් වතාවක් කියන ඔබේ ඉවසීම පලා ගොස් කෝපය ඔබව වෙළා ගන්නවා. එහෙම නේද? සමහරවිට ඔබ නොදැනුවත්වම කෝපය නිසා දරුවාට පහර දෙන්නට, කටට එන  ඕනෑම දෙයක් කියා බැණ වදින්නටත් පසුබට වන්නේ නැහැ. නවතින්න. කෝපයෙන් පිරුණු අපේ මනසට කරන කියන දේ පැහැදිලිව බුද්ධිමත්ව තෝරා බේරා ගන්නට නොහැකි නිසා. වැඩිහිටි ඔබ වහාම සන්සුන් වන්න. මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව දරුවකු වරදක් කළ විට වැඩිහිටියන් ගන්නා ක‍්‍රියාමාර්ග කාණ්ඩ 3ක් යටතේ වර්ග කළ හැකිය.

*  දරුවා වඩාත් කැමති දෙයක් දරුවාට නොදී සිටීම
* දරුවා වඩාත් අකමැති දෙයක් කරන්නට කීම
* දරුවාට දඬුවම් කිරීම

මෙම තුන් වැනි ක‍්‍රමය යටතේ වාචිකව දඩුවම් කිරීම, නිහඩව තරහව හැගීම්වලින් ප‍්‍රකාශ කිරීම සහ කායිකව පහරදීම දරුවන්ට කිසිසේත්ම සුදුසු නොවේ. එලෙසම වාචිකව අප දරුවාට බැණ වදින විට කෝපයෙන් පිරුණු අපේ මුවින් දරුවාට දරා ගන්නට නොහැකි වදන් පවා පිටවේ. පෑරෙන පුංචි සිත්ගැන ඔබට ඒ මොහොතේ වගක්වත් නැති වන්නට පිළිවන. හැඟීම්වලින් දරුවාට ද`ඩුවම් කිරීමේදී බොහෝ විට දරුවා දෙස ඔබ ද්වේශ සහගතලෙස බලනු ඇත. කායිකව දරුවා තලාපෙළා හිංසනය කළ හැකිය.මෙම කුමන ආකාරයකින් හෝ දරුවාට දඬුවම් කළ ද මෙය ළමා මනසට නොගැළපේ.දරුවන්ගේ මගපෙන්වන්නන් වැඩිහිටියන්ය. ඔබ කෝපය පිටකරන ආකාරය දරුවා ද තම ජීවිතයට ආදේශ කරගන්නට පසුබට නොවේ. පාසලේ දරුවන් සමග ඇතිවන පුංචි දෙයටත් කෝපව රණ්ඩු සරුවල් කරන බොහෝ දරුවන්ට එහි ආභාසය ලැබෙන්නේ නිවසෙන්මය. කෙටිකාලීනව දරුවා මෙල්ලකිරීමට හොඳම ආයුධය දඬුවම වුවද දිගුකාලීනව දරුවාගේ ජීවිතය ඇදවැටීමටත් මෙම දඬුවම මුල් වියහැකි බව

ඔබ නොදන්නවා විය හැකිය. ඔබ තරවටු කර පහරදුන් පසු දරුවාට මොහොතකින් එම සිද්ධිය අමතකව යයි. නමුත් යටි සිතෙහි තැන්පත්වන වදන් සහ වේදනාව දිගුකාලීන මානසික වර්ධනයට බලපෑම් කළ හැකිය. ”ගහපු බැණපු වෙලාවට විතරයි! පස්සෙ දරුවාට ඒකෙ ගාණක් නැහැ. එයා දන්නවා අපි එහෙම කරන්නෙ ආදරේට කියලා.” ඔබේ සිතුවිල්ල වැරදිය. දරුවාගේ උඩු සිතින් ඒ සිදුවීම අමතක වුවද දරුවාගේ යටි සිතට එය ප‍්‍රබල ලෙස බලපාන බව අදවන විට පර්යේෂකයින් සොයාගෙන ඇත.”අනේ බලන්නකෝ මම කොච්චර කිව්වත් මේ ළමයා කනකට ගන්නේ නැහැනෙ.ඇහුණෙ නෑ වගේ ඉන්නවා. ඉතිං බණින්නේ නැතිව කොහොමද අනේ” ඇත්ත. බොහෝ දරුවන්ට ඔය ගැටලූව තිබේ. එයට හේතුව සලකා බැලීම ඉතා වැදගත්ය. ඔබ නිතරම දරුවාට අරක කරන්නට එපා, මේක කරන්නට එපා යැයි

වාරණ දමන විටත් හැමදෙයකටම බැණ වදින විටත් දරුවාගේ කනට මෙය ඉතා හුරුපුරුදු තැටියක් බවට පත් වෙයි. ඉතිං දරුවාට අම්මාගේ වචනවල බරක් හෝ වටිනාකමක් සිතට නොදැනේ. අම්මාගේ කරච්චලය දරුවාට හුරුපුරුදු වු පසු දරුවාද කම්මලේ බල්ලා මෙන් ගණන් නොගෙන සිටීමට පුරුදු වෙයි. නමුත් ඇතැම්විට මෙය කන ඇසීමේ රෝගී තත්ත්වයක්ද විය හැකියි. එසේම දරුවන්ට වැළෙ`දන මානසික රෝගයක ලක්ෂණයක්ද විය හැකියි. එහිදී ඔවුන්ගේ අවධානය අඩු නිසා අප පවසන දෙය නෑසෙන ලෙස සිටිනවා විය හැකිය. ඔවුන් ජීවත්වන්නේ ඔවුන්ගේම ලෝකයකය.

පාසලේ කටයුතු නිසි පරිදි නොකරනවා වගේම ඔවුන්ගේ අවධානයත් ඉතා අඩුය. මෙවැනි දරුවන් වෛද්‍ය ප‍්‍රතිකාර වෙත

යොමුකර චර්යාත්මක ප‍්‍රතිකාර හා ඖෂධ ලබාදීමෙන් සුව කළ හැකිය. එසේම ඔටිසම් තත්ත්වය නිසා කථන වර්ධනයේ දුර්වලතා, තව කෙනෙකු කියන දෙයක් තේරුම් ගැනීමට නොහැකිවීම, හුදකලා වීම හා සමාජ පරිසරය තේරුම් ගැනීමට අපහසු වීම වැනි තත්ත්වයක් ද විය හැකිය. වැඩිහිටියන් වන අපද කිසිවෙකු අප දෙස නුරුස්නා බැල්මක් හෙලූවොත් කලබල වෙනවා. ඉතිං කෝපයෙන් මත් වු ඔබේ නෙත්වලින් ගලායන අනුකම්පා විරහිත රැුවීම්වලින්ද දරුවාගේ මනසට බලවත් බලපෑමක් කරනු ඇත. කායික දඬුවම ගත් කළ කිසිසේත්ම අනුමත කළ නොහැකිය. දරුවාගේ ශරීරයට ඇති වූ වේදනාවට වැඩිය දෙගුණයකින් ඔහුගේ මනස වේදනාවට පත්විය හැක. මනස රෝගී වීම ඉතාමත් අවදානම් තත්ත්වයකි. බොහෝවිට දඬුවමට ලක්වන දරුවන් විශාදය, සාංකාව වැනි මානසික රෝගවලට ගොදුරුවීමේ අවදානමක් ඇත. බැණවැදීම්, ගුටිබැට දීම මගින් දරුවා බිය වැද්දීමෙන් ඔහුගේ පෞරුෂයට වන බලපෑම සුළු පටු නොවේ.”කොහොමද එහෙනම් මේ දරුවන්ව අපි හදාගන්නේ ?” ඉහත දැක්වූ දරුවකු වරදක් කළ විට ගත හැකි ක‍්‍රියාමාර්ග 3න් 1 සහ 2 යන කාරණා දෙක ඔබට අනුගමනය කළ හැකියි. පිළිවෙළක් නැති දරුවාට ” පුතා දැන් අපි සිංහල පාඩම බලන වෙලාව, ඔයා දැන් අනෙක් වැඩ නවත්තල සිංහල පොත ගන්න, මම කලින් කිව්වා වගේ පාඩම් කරන්නේ

නැත්තම් අපි ඔයාට කාටුන් බලන්න අවසර දෙන්නේ නෑ, ” යැයි කියා දරුවාගෙන් ඔහු කැමති දෙයක් ඉවත්කළ හැකිය. දරුවකුට දඬුවම් කිරීමේදී මුළු නිවසම එකම සම්මුතියකට එළැඹිය යුතුය. අම්මා කාටුන් බලන්නට යෙදු වාරණය නොතකා තාත්තා දරුවාට කාටුන් බලන්නට ඉඩ දුන් විට දරුවාට ඔබ විහිළුවක් වනු ඇත. මවගේ වාරණවල වැදගත්කමක් ඔහු නොදකියි. දරුවාට ගැලවුම්කරුවකු සිටින නිසා ඔහු එය එතරම්ම ගණනකට නොගනු ඇත.

දරුවන්ගේ සුඵ වරදකටත් ඉතාමත් ඉක්මණින් ඔබේ අවධානය යොමු වුවත්  කීකරුව සිටි පැය ගණන තුළ ඔබේ පැසසුම දරුවන්ට හිමිවේද? දරුවන් යනු අන් අයගේ අවධානය දිනා ගැනීමට උත්සුක වන පිරිසකි. එහෙයින් ඔවුන් නිතරම කුමක් හෝ දෙයක් කිරීමෙන්අවධානය දිනාගැනීමට කටයුතු කරයි. දරුවන්ගේ දග වැඩවලට හේතුවන කාරණයක් වන්නේද අන් අයගේ අවධානය දිනා ගැනීමට ඔවුන් යොදන මෙම උපක‍්‍රමයි. එහෙයින් දරුවා අකීකරුවන විට පමණක් නොව කීකරුව කටයුතු කරන විටද ඔවුන්ට අවධානය යොමු කරන බව ඇගවිය යුතු සේම එවැනි අවස්ථාවල ඔවුන්ව පැසසුමට ලක්කිරීම ද ඉතා වැදගත්ය. දරුවන්ගේ ඇතැම් ක‍්‍රියාකලාප නිසා පාලනය කරගත නොහැකි කෝපයක් ඇති වී තරහින් පිපිරෙන ඔබේ බුද්ධිය ද අක‍්‍රිය වන අතර සිතට එන සෑම වචනයකින්ම දරුවාට පහර දෙන ඔබ එතැනින් නොනැවතී ගුටි බැට දෙන්නට පවා ක‍්‍රියාත්මක විය හැකිය. තරහ ඇති වූ විට දරුවාට දෙන අවවාද අනුශාසන වැඩක් නැත. කෝපය එන විටම ඔබ සන්සුන්වන්න. කෝපය පාලනයට සරල ක‍්‍රම කිහිපයකි.

1) 1-10 ගණන් කරන්න. නැවත 10-1 ගණන් කරන්න. මෙසේ කීපවතාවක් ගණනය කරන විට ඔබේ තරහ ම`දින් ම`ද තුරන් වනු ඇත.

2) ආනාපානාසති භාවනාව ප‍්‍රගුණ කිරීම. එහිදී ගැඹුරු හුස්ම ගැනීම සහ පිටවීම ගැන අවධානය යොමු කළ හැකිය.

3) නිවසෙන් පිටතට පැමිණ වටපිටාව දෙස බලන්න.

4) ගීතයකට සවන් යොමන්න.

5) ඔබ වඩාත් කැමති ස්ථානයකට සිතින් පියමං කරන්න.

මෙම ක‍්‍රමවලින් ඔබට වඩාත් සුදුසු ක‍්‍රමයක් තෝරාගෙන කලින් ප‍්‍රගුණ කළ යුතුය. දරුවන් යනු මිල කළ නොහැකි වත්කමකි. එබැවින් ඔබ සමාජ ගත කළ යුත්තේ කායික හා මානසික අතින් නිරෝගී දරුවන්ය. ද`ඩුවම් තුළින් ඔවුන්ගේ ජීවිත අඳුරු නොකරන්නට වගබලා ගත යුත්තේ ඔබය.

#kids #srilankasinhalaarticles #kidssinhalaarticl #kidsarticle #kidsday #kidsandmother

note

You may also like
බබාගේ සෞඛ්‍යය
කුඩා දරුවන්ගේ පෙරළිකාර වයස
ඔබේ දරුවා කියවන හොදම පොත ඔබේ ජීවිතයයි
ළමයින් රූපවාහිනියේ පෙන්වන භයානක ප්‍රවෘත්ති නැරඹිය යුතුද?