Home > Latest Articles > දරුවන්ට යහළුවන් ඇතිකර ගැනීමට උදව් කරන්නේ කෙසේද?

දරුවන්ට යහළුවන් ඇතිකර ගැනීමට උදව් කරන්නේ කෙසේද?

“අම්මා, මට ඉස්කෝලේ කවුරුත් කැමති නැහැ. මට කිසිම යහළුවෙක් නැහැ”යි කියා අවුරුදු හයක් වයසැ’ති හරිත් කණගාටුවෙන් ඔහුගේ අම්මට පැමිණිලි කළා.  තම දරුවාගේ කතාව ඇසීමෙන් මිනොරිගේ සිත ඉතා දුකට පත් උනා.  “නැහැ පුතා, ඒක ඇත්ත වෙන්න බැහැ. පංතියේදී මොනවාද සිද්ධ උනේ කියල මට කියන්න” කියමින් ඇය තම දරුවාව අස්වැසුවා.

“කමක් නැහැ පුතා, එයාලට වඩා  මම ඔයාට හොඳ යහළුවෙක්” කියා අම්මාට තම දරුවාට කිය හැකි නම්, එය ඉතා සතුටුදායක සහ බුද්ධිමත් පිළිතුරක් ද?.

මේ අයුරින් කිසිවිටක තම දරුවාට කියන්න එපා!

ඔබේ දරුවාට ඔබේ ආදරය සහ උදවු අවශ්‍ය වගේම, ඔහුගේ සාමාජ ආශ්‍රය සහ යහළු මිත්‍රයන් ඇසුරු කිරීම ඔහුට  ඉදිරි අනාගතයේදී වැඩිහිටියෙක් වූ පසු ඉතා හිතකර යහපත් දිවියක් ගෙන යාමට ඉවහල් වේ.

හරිතගේ මව ඔහුට පිළිතුරු දුන්නේ ඉතා බුද්ධිමත් ලෙසයි.  ඇය ඔහුට යහළුවන් ඇති කර ගැනීම  සඳහා ගත් පියවර නිසා, අද ඔහු වටා ගොඩක් යහළුවන් එක්රොක් වී ඇත.

දරුවා තුළ විශ්වාසයක් ඇතිකර ගැනීමටත්, සමාජයේ හැසිරීමේ රටාව හඳුන්වා දීමටත් ගත හැකි පියවර මොනවාද?

  • සමාජයේ හැසිරීමට අවස්ථාවක් සලසා දෙන්න ඔබේ දරුවාගේ කුලෑටි භාවය දුරලා සමාජයේ හැසිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙන්න.
  • දරුවාට සෙල්ලම් කිරීමට නියමිත දවස් සකසා දෙන්න සම වයසේ දරුවන්ට ඔවුන්ගේ මව්වරුන් සමඟ හමුවීමට වෙනත් ස්ථානයක් පිළියෙළ කරන්න. නැතහොත්,  තම නිවසට ආරාධනා කරන්න.  දරුවන්ට නිදහසේ සෙල්ලම් කිරීමට ඉඩකඩ  සලසා දෙන්න.  යහළුවන් සමඟ කෙසේ සෙල්ලම් කළ යුතුදැ’යි කියාදීමට ඔබ ඉදිරිපත් වෙන්න එපා.  ඔවුන්ට තනිවම සමාජයේ හැසිරෙන අයුරු ඉගෙන ගැනීමට ඉඩ හරින්න.  ඔබේ දරුවාව, සුපර් මාර්කට් එකට, කඩේට, බැංකුවට ඔබ සමඟ රැගෙන යන්න.  ඔවුන්ට සමාජයේ නොයෙකුත් මාදිලියේ මිනිසුන් සමඟ කතාබහ කිරීමෙන් තමා තුල විශ්වාසයක් ඇති කර ගැනීමට ඉඩ දෙන්න.
  • මිත්‍රකම් පැවැත්වීමට සහය දෙන්න ඔබේ දරුවා පාසැලේ සිදු වූ විස්තර කියන විට, ඒවා පිළිබඳ නොයෙකුත් ප්‍රශ්න අසමින්, ඔවුන්ට සාවධානව ඇහුම්කන් දෙන්න. එසේ කිරීමෙන් ඔබේ දරුවා අන් අය සමඟ හැසිරෙන අයුරු පිළිබඳව දැනුවත් වීමට ඔබට හැකියාව ලැබේ.  ඔබේ දරුවාගේ යහළුවන් හඳුනාගෙන, ඔවුන් සමඟ යහළු මිත්‍රකම පැවැත්වීමට උනන්දු කරවන්න.

ඔබේ දරුවාගේ හැසිරීම, කතා ආදී දේවල් දෙස අවධානය යොමු කිරීමෙන්, තම දරුවා කුමන විධියේ යහළුවන් ඇසුරු කරනවාදැ’යි දැන ගත හැක.  දරුවන්ට තම යහළුවන් සමඟ පිටතට ගොස් විනෝද වීමට අවස්ථාවන් ලබා දෙන්න.

  • දරුවාට යහළුවන් සමඟ ඇසුරු කිරීමට අවශ්‍ය සහය සමබරව ලබා දෙන්න ඔබේ දරුවා, සමහර අවස්ථාවල පාසලෙන් නිවසට පැමිණෙන්නේ ඔහුව/ඇයව අනෙක් ළමයින් යහළුවෙක් ලෙස පිළිනොගන්නා බව පවසමින් හෝ ඔවුන්ට යහළුවන් නැති බව පවසමින් විය හැක.

සැමවිටම, දරුවාට සාවධානව ඇහුම්කන් දෙන්න. ඔබේ සිතට කණගාටුවක් දැනුනත්, එය දරුවාට නොපෙන්වා, දරුවාව අනෙක් ළමුන් සමඟ අමනාප නොවී සිටීමට උනන්දු කරවන්න.  අපක්ෂපාති තීරණ ගන්න.  දරුවාගෙන් සියලු විස්තර හොඳින්  අසා දැනගන්න. තම යහළුවා හෝ පංතියේ ළමුන් එසේ හැසිරුනේ ඇයිදැ’යි  තම දරුවාට ඉතා කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.  තම දරුවාගේ අඬුලුහුඬුකම් පහදා දෙන්න.  අන් ළමුන් සමඟ යහළු මිත්‍රකම් පවත්වා ගෙනයන අයුරු හොඳින් වටහා දෙන්න.  ඔබට අවශ්‍ය නම්, ඔබේ දෙමව්පියන්, යහළුවන් සහ ගුරුවරුන්ගෙන් සහය පතන්න.

  • ස්වකීය භූමිකාව හොඳින් රඟ පාන්න  ඔබට සමාජශීලී දරුවෙක් අවශ්‍ය නම්, ඔබත් සමාජ ශීලී වී, දරුවන්ට ඔබව අනුකරණය කිරීමට හැකිවන සේ හැසිරෙන්න.

පහත සඳහන් කරුණු සළකා බලන්න.

  • ජීවිතයේ දුක සහ සැප එකසේ සතුටින් විඳ දරා ගැනීමට හැකියාවක් ඇති කිරීම
  • තමන්ගේ අඩුපාඩු දැන ඒවා පිළිගැනීම
  • අන් අය විවේචනය කරන්න එපා
  • මිත්‍රශීලී වන්න, සමාජශීලී වන්න, මඟතොටදී හමුවන තමන් හඳුනන අයට අත වනා ආචාර කරන්න
  • කරුණාවන්ත වන්න. අවබෝධයෙන් කටයුතු කරන්න
  • කිසිවිටක පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවී, ඔබේ දරුවාගේ අධිෂ්ඨානය සඵල කරගැනීම සඳහා සහ අප්‍රසන්න තත්ත්වයන් වෙනස් කිරීමට කටයුතු කරන අයුරු පෙන්වා දෙන්න
  • ඔබේ දරුවාට තම විශ්වාසය ගොඩ නැගීමට උදව් කරන්න

සෑම ළමයෙකුටම සාර්ථක වැඩිහිටියෙක් වීම සඳහා සමාජශීලී වීමත්, යහළු මිත්‍රයන් ඇසුරු කිරීමත් අවශ්‍ය වේ.  අපි අපේ කුඩා දරුවන්ට ප්‍රසන්න සහ දීප්තිමත් අනාගතයක් තහවුරු කරමු!

#kids #kidsfriends #newrgriends #toddler #howcanchildrenhelptheirfriends

note

You may also like
දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍යය ක්‍රියාකාරකම්
ඔබගේ බබාගේ මොළය වැඩීමට උපකාරී වන දිනපතා ක්‍රියාකාරකම්
කුඩා දරුවන් සහ සංස්කෘතිය
උදාසීන ළමුන් ප්‍රබෝධමත් කිරීම
error: Content Protected © mummypages.lk