Home > දෙමාපිය දැනගැනිම පිණිස > දරැවන්ට ආදර්ශමත් වැඩිහිටියකු වෙමු

දරැවන්ට ආදර්ශමත් වැඩිහිටියකු වෙමු

හොඳ පටන් ගැනීමක අවසානයද හොඳ වේ!

අපි අපේ දරුවන්ට ගුණගරුක, නීතිගරුක සහ යුක්තිගරුක දෙමව්පියන් වීමෙන්, ඔවුන් කවදා හෝ මවක්, පියෙක් වූ විට, එය ආදර්ශයට ගෙන ඔවුන්ගේ දරුවන්ට ගුණගරුක , නීතිගරුක සහ යුක්තිගරුක දෙමව්පියන් වෙන බව සහතික ඇත්තකි.  ඔබේ දරුවන් අනුකරණය කරන්නේ ඔබය.  ඔබේ දරුවාගේ මුල් ගුරුවරුන් වන්නේ ඔබය.  ඔබේ දරුවන් මුලින් කියන්නේ “අම්මා” හෝ “තාත්තා” කියාය.  එසේ නම්, එය හොඳටම පැහැදිලියි නේද?  ඔබේ දරුවා මුල් පාඩම ඉගෙන ගන්නේ නිවසේදීය. එනම් දෙමව්පියන්ගෙනි.  ඔබ හොඳ ගුණ ගරුක මවක් නම්, පියෙක් නම්, ඔබේ දරුවාද කවදා හෝ ගුණ ගරුක මවක් හෝ පියෙක් වේවි.

එසේ නම්, ඇයි අපි තවත් ප්‍රමාද වෙන්නේ?  ගුණගරුක වීමට, යුක්තිගරුක වීමට, නීතිගරුක වීමට මෙය හොඳම කාලයයි.  වර්තමානයේ ඇති ආර්ථික පසුබිම මත, බොහෝ දෙනෙක් ගුණගරුක බව අමතක කර ඇත. අපේ මුතුන්මිත්තන් අතර තිබූ ගුණ යහපත්කම්, මුදල් පසු පස හඹා යන අපගේ අතින් ගිලිහී ඇත්තේ අපටත් නොදැනීමය.  අපට අද දවසේ කාර්ය බහුලත්වය නිසා, වැඩිහිටියෙක් බැලීමට යාමට, ඥාතියෙක් බැලීමට යාමට, පන්සලකට යාමට, මරණ ගෙදරකට යාමට වේලාව නොමැත.  නැති නම්, එය එතරම් වැදගත් දෙයක් යයි නොසිතන හෙයින්, අපෙන් විය යුතු යුතුකම් අද සමාජයෙන් ගිලිහී යයි.  නමුත්, මත්පැන් ඇති තැනකට, සාදයකට යාමට ඕනෑතරම් වෙලාව ඇත.  එසේ නම්, ඇයි තමාගේ වැඩිහිටියෙක්, ඥාතියෙක් බැහැ දැකීමට යාමට, පන්සලකට, මරණ ගෙදරකට, බණ ගෙදරකට යාමට  පමණක් වෙලාව නැත්තේ?

ඔබේ දරුවාට තම නිවසේදී, අන් අයගේ නිවසේදී, පාරේදී, පන්සලේදී  සහ පොදු  බසයක හෝ දුම්රියක ගමන් කිරීමේදී  හැසිරෙන පිළිවෙල හොඳින් කියා දෙන්න.  පාරේ යන විට දකුණු පැත්තෙන් ගමන් කිරීමටද, පාර හරහා පැනීමේදී, කහ ඉරෙන් පමණක් පනින්නත්, පාර පැනීමට පෙර දෙපැත්ත බැලීමටත් කියා දෙන්න. තවද, පාරේ කටු අත්තක්, අඹ හෝ කෙසෙල් ලෙල්ලක් දුටුවහොත්, එය පාරෙන් ඉවත් කරන්නත් දරුවා දැනුවත් කරන්න.  තවද, පොදු බසයක හෝ දුම්රියක ගමන් කරන විට, වැඩිහිටියෙක්, පැවිදි අයෙක් හෝ ගැබිණි මාතාවක් පැමිණිය හොත්, තම අසුන් ඔවුනට කැමැත්තෙන් දීමට පසුබට නොවීමට පුරුදු කරන්න.  තම වාහනයෙන් ගමන් කරන විට පවා, පාරේ යන අනෙක් වාහන සහ පදිකයන් පිලිබඳ දැඩි අවධානය යොමු කරමින්, තම වාහනය කිසිවෙකුට කරදරයක් නොවීහසුරු වන ආකාරය කුඩා කාලයේ සිටම දරුවන්ට පුරුදු පහුණු කිරීමට නම්, තමනුත් තම වාහනය වෙනත් කෙනෙකුට කරදරකාරී ලෙස, එසේ නැතහොත් ජංගම දුරකතනයෙන් කතා කරමින් වාහනය නොපදවන්න කාරුණික වන්න.  එවිට තමන්ගේ නීතිගරුක භාවය දරුවාටද, ඉගෙන ගැනීමට ඉඩකඩ සැලසේ.  තමන් නීතිය කඩ කරමින්, යුක්තියට පයින් ගසමින්, සමාජයේ හැසිරේ නම්, තම දරුවාට ගුණගරුක භාවය, යුක්තිගරුක භාවය සහ නීතිගරුක භාවය උගන්වන්නේ කෙළෙසද?  එවිට, කකුළුවා ඇදේට යමින්, තම පැටවුන්ට කෙළින් ගමන් කිරීමට පුරුදු කරන අයුරු සිහියට නගා ගත හැක!

ඔබ යුතුකම් ඉෂ්ඨ කරන, ඔබේ දෙමව්පියන්ට, වැඩිහිටියන්ට සළකන මවක් නම්, පියෙක් නම්, ඔබේ දරුවාද ඔබ ආදර්ශයට ගෙන කවදා හෝ, ඔබ මහළු වූ විට, ඔබට යුතුකම් ඉෂ්ඨ කරාවි. එසේම,  ඔවුන්ගේ දරුවන්ට හොඳ නරක කියා දී, යුතුකම් කියාදී, ඔවුන්ටද හොඳ මවක්, පියෙක් වේවි!  අපි අපේ දරුවන්ව හොඳ මවක්, පියෙක් කළහොත්, ඔවුනුත් ඔවුන්ගේ දරුවන්ව හොඳ මවක්, පියෙක් කළ හොත්, එය පරම්පරාවෙන් පරම්පරාවට දිගින් දිගටම යාවි.  එවිට, හොඳ නිවසක්, හොඳ ගමක්, හොඳ නගරයක්, හොඳ රටක් සෑදී, අපි හැම දෙනාටම සතුටෙන් සමගියෙන් වාසය කිරීමට හැකි ලස්සන ලෝකයක් මැවී, මෙය මිහිපිට සුරපුරක් බවට පත් වේවි!

මඳක් සිතන්න.  අපි අපේ වැරදි හදාගෙන ඉදිරියට යමු. අපෙන් සිදු වූ ප්‍රමාද දෝෂ නිවැරදි කරගෙන ඉදිරියට යමු.

අපි ගුණගරුක, යුක්ති ගරුක, නීතිගරුක වැඩිහිටියන් වී, අපේ දරුවන්ට ආදර්ශමත් වෙමු!

#goodhabit #goodperants #mother #father #srilankamotherandfather

note

You may also like
ළමයින් තුල හොඳ ගතිගුණ ස්ථාපිත කිරීම
මවගේ ලස්සන ස්වාමියාටත් දරුවාටත් ආඩම්බරයකි.
ඔබේ පුර්ව ප්‍රසව නිළධාරිනියන් පිළිබදව ගර්භණි මවක් වු ඔබ දැනුවත්ද?
දරුවන්ට බෙදා හදා ගැනීමට පුරුදු කරමු