Home > ගමන් > ගර්භනී අවස්ථාවේ ගමන් බිමන් යාම

ගර්භනී අවස්ථාවේ ගමන් බිමන් යාම

“ඔබේ යම් අසනීප තත්ත්වයක් නිසා, ඔබේ වෛද්‍යවරයා ඔබට ගමන් යාම එතරම් යහපත් නොවේ යයි කියා යම් තහංචියක් පනවනතෙක්, ඔබ ආරක්ෂා සහිතව, ඔබේ ගර්භනී අවස්ථාවේදී  චාරිකාවන්හි නිරත වුවාට එයින් වරදක් සිදු නොවේ.  ඔබ චාරිකාවක නිරත වීමට  පෙර ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව සමඟින් මේ පිළිබඳව පවසා ඔවුන්ගේ උපදෙස් ගැනීම ඉතා යෝග්‍යය.”

පහත සඳහන් වන්නේ, ගර්භනී අවස්ථාවේ දී,  චාරිකාවේ යෙදීම සඳහා ඔබට  අවශ්‍ය වන පොදු කරුණු කීපයකි.

  • ඔබට චාරිකා යාම සඳහා සුදුසු කාලය :  දරු ගැබට මාස තුනක් ඇතුලත, ගබ්සා වීමට ඇති අවදානම වැඩිය.  මෙම කාලය තුල දුර ගමන් යාම ඔබ අඩු කළ යුතුය.  මෙම කාලය තුළ විශේෂයෙන් ඔබට උදා ආබාධය ඇතිවීම (morning sickness), සාමාන්‍යයෙන් ඇතිවන ඔක්කාරය සහ ඉක්මණින් වෙහෙසට පත්වීම සිදුවේ.  ගර්භනී අවස්ථාවේ අවසාන කාලයේදීත්, ඔබ ඉතා ඉක්මණින් වෙහෙසට සහ අපහසු තත්ත්වයන්ට පත් වේ.  එමනිසා, ගමන් යාම සඳහා ඉතාම සුදුසු කාලය වන්නේ මේ අවස්ථා දෙක අතර කාලය  හෙවත් මාස 4 – 6 අතර කාලය වේ.  ඔබ දුර ගමනක් යාමට අපේක්ෂා කරයි නම්, එය මෙම කාල පරාසය තුල සැලසුම් කරන්න.
  • ගමනාන්තය විමර්ශනය කරන්න : ඔබ නිවසින් පිට බොහෝ දුර ගමන් කරන්නේ නම් හෝ පිටරටක චාරිකාවක යෙදීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබේ ගමනාන්තයේ ඇති සෞඛ්‍ය පහසුකම් පිළිබඳව සොයා බලන්න.  එවිට ඔබට හදිසියේ එහිදී වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ලබා ගත හැක.
  • ඔබගේ වෛද්‍ය වාර්තා සහ ඖෂධ වර්ග රැගෙන යන්න : ඔබගේ වෛද්‍ය වාර්තා රැගෙන යාමට අමතක කරන්න එපා. එහිදී ඔබට යම් අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රතිකාර ගැනීමට, මෙම වාර්තා අනුව පහසුවේ. එසේම ඔබේ වෛද්‍යවරයා නියම කළ සියළු ඖෂධ වර්ග, විටමින් වර්ග සහ අතිරේක පරපූරක රැගෙන යන්න.  ඔබ චාරිකා කිරීමට බලාපොරොත්තු වන ස්ථානයේ, ඔබ දැනට සිටින ප්‍රදේශයට වඩා යම් බෝවෙන රෝග හෝ වෙනත් රෝග ව්‍යාප්තියක් ඇති ස්ථානයක් නම්, ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව හමු වී ඔබට විශේෂ ඖෂධ වර්ග හෝ විශේෂ එන්නත් ලබා ගත යුතුදැ’යි ඔවුන්ගෙන් විමසන්න.
  • සැහැල්ලු ඇසුරුම් : ඔබට ගෙන යාමට අපහසු බර ප්‍රමාණයෙන් වැඩි ගමන් මලු ආදිය ගෙන යාමෙන් වළකින්න.  විශේෂයෙන් ඔබ තනිවම ගමන් කරයි නම්, ඔබට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත සැහැල්ලු සහ කුඩා ගමන් මල්ලක් පමණක් රැගෙන යන්න.
  • ඔබ පොදු වාහනයක ගමන් කරයි නම් : ශ්‍රී ලංකාවේ පොදු වාහනවල ගමන් කිරීම, විශේෂයෙන් ගර්භනී කාන්තාවන්ට ඉතා අසීරු කරුණක් වන්නේ, පොදු වාහනවල ඇති අසුන්වල අඩු බව, වාතාශ්‍රය අඩු බව, තදබදය සහ නොසැලකිලිමත් ලෙස වාහන පැදවීම යනාදියයි.  ඔබ පොදු වාහනයක ගමන් කිරීමට සැලසුම් කරන්නේ නම්, රථවාහන තදබදය උපරිමයෙන් ඇති කාලය (peak hours) මඟ හරින්න.  ඒ සඳහා මිනිසුන් අඩුවෙන් ගමන් කරන බසයක් හෝ දුම්රියක් ඇතිදැ’යි සොයා බලන්න.  ඔබට අසුනක් ඉල්ලීමට පසුබට නොවන්න.  බොහෝ බස්වල සහ දුම්රියන්හි ගර්භනි කාන්තාවන්ට වෙන් කළ අසුන් ඇත. මේවා ඔබට ලබා දෙනු ඇත.  නොසැලකිලිමත් ලෙස ධාවනය කරන වාහනවල යනවිට ඔබට යම් පහසුවක් දැනේ නම්, වාහනය පරෙස්සමින් පදවන ලෙස එම රථයේ  රියැදුරු මහතාගෙන් කාරුණිකව ඉල්ලීමට පසුබට වන්න එපා.  ධාවනය වන බසයකට හෝ දුම්රියකට ගොඩවීමට හෝ එයින් බැසීමට උත්සහ කරන්න එපා.
  • ගර්භනී අවස්ථාවේ දී මෝටර් රථයක ගමන් කිරීම : ගර්භනී අවස්ථාවේදී මෝටර් රථවල ගමන් කිරීමේදී හිස කරකැවිල්ල වැනි අපහසු තත්ත්වයක් ඇතිවීම ස්වභාවිකය.  එමනිසා නිතරම බීම පානය කරන්න, සැහැල්ලු කෙටි ආහාර ගන්නා  අතර, දිගු ගමන් යන්නේ නම්, විඩා නිවා ගැනීම සඳහා අතරමඟ වරින් වර වාහනය නතර කරන්න.  මෝටර් රථය තුල සෑහෙන පමණ වාතාශ්‍රය තිබේදැ’යි පරීක්ෂා කරන්න.  ඔබට ක්ලාන්ත ගතියක් හෝ හිස කරකැවිල්ල වැනි අපහසු තත්ත්වයන් මඟහැර ගැනීම සඳහා පෙපර්මින්ට් වැනි දෙයක් භාවිතා කරන්න.  සෑමවිටම සීට් බෙල්ට් එක පැළඳ ගන්න. එවිට ඔබට හෝ ඔබේ බබාට විය හැකි අනතුරුවලින් බොහෝ දුරට වැළකිය හැකි වේ.  එය පැළඳ ගැනීමේදී, එක් පටියක් ඔබේ පපුව හරහාද, අනිත් පටිය ඔබේ ගර්භයට පහළින් යන ලෙස පළඳින්න.  එසේම, හදිසියේ අනතුරක් ඇතිවුවහොත් කාරයේ ඇති වා මල්ල (air bag) ක්‍රියාත්මකවේදැ’යි පරීක්ෂා කරන්න.  වාහනයේ ඇති ඉදිරි ආසනයේ ඔබ අසුන් ගතහොත්, ඔබට කකුල් පහසුවෙන් තබා ගත හැක.  ඔබට දිගු ගමනක් යාමට ඇත්නම්, ඔබ තනිවම වාහනය පදවන්න එපා.
  • ගර්භනී අවස්ථාවේදී අහස්යානයෙන් ගමන් කිරීම : ගර්භනී අවස්ථාවේ දී, ගුවන් ගමන් යාමේ කිසිදු වරදක් නොමැත. නමුත්, ඔබ ගමන් යාමට පෙර, මේ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව සමඟ සාකච්චා කරන්න.  ගර්භනී අවස්ථාවේ අන්තිම කාල වකවානුවේදී ඔබට අහස්යානාවෙන් ගමන් කිරීමට බොහෝ  ගුවන් සමාගම් අවසර නොදේ.  එයට හේතුව, සති 37 සම්පුර්ණ වූ විට (ඔබ නිවුන් දරු උපතක් බලාපොරොත්තු වේනම් සති 34 සම්පූර්ණ වූ විට) ඔබට දරු උපත සිදුවීමට ඇති ඉඩකඩ වැඩි  හෙයිනි.  ඔබට ගුවනින් යාමට අවශ්‍ය නම්, ඔබ දරු උපත බලාපොරොත්තු වන කාලය සඳහන් ලිපියක් ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ වින්නඹු මාතාවගෙන් ලබා ගත යුතුය.  ගුවන් ගමනාන්තය ඉතා දීර්ඝ එකක් වේනම්, ඔබ නිතරම ජලය පානය කළ යුතු අතර, සෑම විනාඩි 30කටම වරක් යානය තුල ඇවිදීම අවශ්‍යය.  එවිට රුධිර කැටි ගැසීම ඇතිවීමේ අවදානම මඟ හැරිය හැක.  ඔබේ කකුලේ නහර  ගැටගැසීම (varicose veins) ඇති බව තහවුරු වී ඇත්නම්, ගුවන් ගතවීමට පෙර, ෆාර්මසියෙන් මිළඳී ගත් දිගු මේස් (stockings) පැළඳීමෙන් ඔබට සහනයක් ලැබෙනු ඇත.
  • ගර්භනී අවස්ථාවේදී මුහුදු ගමන් යාම :  ඔබ ගර්භනී භාවයට පත් වී සති 32 සම්පූර්ණ වූ විට, බොහෝ නැව් සමාගම් ඔබට මුහුදු ගමන් නොයන ලෙස උපදෙස් දෙනු ලැබේ.  ඔබ දිගු ගමනක් මුහුදේ යාත්‍රා කිරීමට බලාපොරොත්තු වේ නම්, එම යාත්‍රාවේ ඔබට අවශ්‍ය වුවහොත්,  ප්‍රතිකාර ගැනීම සඳහා පහසුකම් ඇත්දැ’යි පරීක්ෂා කරන්න.
  • ඔබ චාරිකාවේ යෙදෙන විට ආහාර ගැනීම ආරක්ෂාකාරී ද? : ඔබ චාරිකාවේ යෙදෙන විට අහාර ගත යුතු වුවත්, ඔබ මිළඳී ගන්නා ආහාර ලබා ගන්නේ සුරක්ෂිත සහ පිරිසිදු ස්ථාන වලින්දැ’යි තහවුරු කර ගන්න.  ඔබට හැකිනම්, සෑමවිටම ඔබට අවශ්‍ය ආහාර සහ බීම වර්ග ඔබේ නිවසින් ගෙන යා හැකි නම්, එය වඩාත් සුදුසුය.  ඔබ ගර්භනී අවස්ථාවේ සිටින කාලයේදී, ඔබට උදරයේ වේදනාවක් හෝ පාචනය වැනි රෝගී තත්ත්වයක් ඇති වුවහොත්, ඔබ සාමාන්‍යයෙන් ගන්නා බෙහෙත් වර්ග බොහෝවිට මෙවැනි අවස්ථාවන්හිදී සුදුසු නොවේ.  එමනිසා, ඔබ ගමන් යනවිට පරිභෝජනය කරන ආහාර වර්ග සහ බීම වර්ග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ඉතා යෝග්‍යය.

#goinghomewhilepregnant #pregnancytime #pregnancywomen #pregnancywomentravel #pregnancywomen 

note

 

You may also like
ඔබ රැකියාව කරන විට ඔබේ සෞඛ්යෙ සුරැකීම
උඩු අතට නිදාගැනීම ගර්භණී කාලයේදී සුදුසු නොවන්නේ ඇයි ?
Those Dreaded Labour Pains & Final Reward
IVF (In-Vitro Fertilization) in sri lanka
error: Content Protected © mummypages.lk