Home > දෙමාපිය දැනගැනිම පිණිස > ඔබේ පොඩිත්තාගේ දත් අාරක්ෂිතද?

මවගේ ගර්භනී අවස්ථාවේ සිටම පටන් ගන්න

දරුවා ඔබේ ගර්භය තුළ සිටියදී සියළු පෝෂ්‍යදායි දේ සඳහා ඔබේ ශරීරය මත රඳා පවතී.  සාමාන්‍යයෙන් දරුවන් ඉපදීමේදී දත් විදුරුමසින් පිටතට නෙරා නොතිබුනත්, දරුවාගේ දත් ඇති වීමට පටන් ගන්නේ, දරුවා ඔබේ ගර්භයේ සිටියදීමය.   දරුවාගේ ඉදිරි කාලයේදී දත් සහ අස්ථි වැඩීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සඳහා, දරුවා ඔබේ ගර්භය තුළ සිටියදීම, ඔබ සියළු පෝෂ්‍ය පදාර්ථ, විටමින සහ ඛණිජ ද්‍රව්‍ය  අඩංගු සමතුලිත ආහාර ගැනීම අත්‍යවශ්‍යය.

Untitled-1

ඔබේ දරුවාගේ පළමු දත් හෙවත් කිරි දත්

සාමාන්‍යයෙන් දරුවාගේ කිරි දත් ඒමට පටන් ගන්නේ දරුවාට වයස මාස 6 -12 දක්වා අතර කාලය තුළදීය.  සමහර බබාලාගේ දත් ඒම කලින් සිදු වුවත්, සමහරුන්ගේ දත් ඒම මඳක් ප්‍රමාද වී සිදුවේ.   සාමානයෙන් මුලින් පිටතට එන්නේ බබාගේ යටි ඇන්දේ ඉදිරි දත් දෙපලයි.  ඉන්පසු උඩ ඇන්දේ ඉදිරි දත් දෙක සහ ක්‍රමයෙන්  බබාට වයස අවුරුදු 2.5 – 3  වනවිට දත් 20ක් පමණ ඇතිවේ (වැඩිහිටියන්ට දත් 32ක් පමණ පිහිටා තිබේ).  වැඩිහිටියන්ගේ දත් වලට වඩා, බබාලාගේ දත් සුදු පැහැයෙන් යුක්තය.  මෙම හේතුව නිසා බබාලාගේ දත් “කිරි දත්” යනුවෙන් ව්‍යවහාර වේ.  පිරිමි ළමුන්ට වඩා ඉක්මණින් ගැහැණු දරුවන්ගේ කිරි  දත් වැටී ගොස්  ස්ථිර දත් ඒමට පටන් ගනී.

කිරි දත් ඒමට පටන් ගැනීමේදී, බබාලාට පාචනය හෝ උණ ඇති වීමට ඉඩ ඇති බව සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති පොදු පිළිගැනීමකි.  නමුත්, එම කරුණ සනාථ කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් නොමැත.  පැරණි කාලයේදී අපේ ආත්තම්මලා දරුවන්ගේ දත් ඒම පහසු කිරීම සහ වේදනාව සමනය කිරීම සඳහා විදුරුමස්වල මී පැණි ආලේප කරන ලදී.  මෙම කරුණ සනාථ කිරීම සඳහාත් විද්‍යාත්මක පසුබිමක් මෙතෙක් අනාවරණය වී  නොමැත.  දත් ඒම පහසු කරලීම සඳහා බෙහෙත් ආලේපන වර්ගයක් දැනට භාවිතා නොකරයි.  මෙම ක්‍රියාවලිය සාමාන්‍ය ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියකි.

ඔබේ දරුවාගේකිරි දත්රැක ගන්න!

වෛද්‍ය විජේරත්න මහත්මිය අවධාරණය කරනුයේ ඔබේ දරුවාගේ කිරි දත් රැක ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.  සමහර මව්වරුන් කිරි දත් වැටී යන බැවින් එම දත් පිළිබඳ එතරම් සැළකිල්ලක් නොදක්වනු ලැබේ.  නමුත්, ස්ථිර දත් සඳහාද අඩිතාලම වැටෙන්නේ කිරි දත්වල මූලය මත බව අමතක නොකළ යුතු කාරණයකි.  කිරි දත්වල තත්ත්වය එතරම් හොඳ නැතිනම්, ස්ථිර දත්වල තත්ත්වයද දුර්වල වේ.  එමනිසා, දරුවාගේ ස්ථිර දත්වල ස්වභාවය ශක්තිමත් කිරීමට නම්, කිරි දත්වල සෞඛ්‍ය රැක ගැනීම අත්‍යවශ්‍ය වේ.

මව්වරුන්ට කළ හැකි දේ:

දරුවාගේ දත්වල කුහර සෑදීම වළක්වා ගැනීම සඳහා වෛද්‍ය විජේරත්න මහත්මිය පහත සඳහන් වැදගත් කරුණු කීපයක් මෙසේ ගෙනහැර දැක්වීය.

  • ඔබේ බබාට රාත්‍රි කාලයේදී මව්කිරි හෝ දියර කිරි (බෝතලයෙන්) හෝ දෙන වාර ගණන අඩු කරන්න : ඔබේ දරුවාට රාත්‍රියේදී කිරි ආහාර දුන් පසු, කුඩා පුළුන් කැබැල්ලක් හෝ පිරිසිදු මෘදු රෙදි කැබැල්ලක් උණුසුම් ජලයෙන් පොඟවා දරුවාගේ විදුරුමස හොඳින් පිරිසිදු කරන්න.  එවිට රාත්‍රී කාලයේදී විදුරුමසේ රැඳී ඇති කිරි මත විෂබීජ ක්‍රියාකාරිත්වය වළක්වා, බබාට ශක්තිමත් හිතකර කිරි දත් ලැබීමට ඇති හැකියාව වැඩි දියුණු කළ හැකිය.
  • දරුවාට පැණි රස කෑම දීමෙන් වළකින්න : චොකලට්, ටොෆී (විශේෂයෙන් දත්වල ඇලෙන පැණි රස කෑම ) සහ විස්කෝතු ආදිය දීමෙන් වැළකී, ඒ වෙනුවට නැවුම් පලතුරු හැකි පමණ දෙන්න.
  • ඔබේ දරුවාගේ කිරි දත්වල කුහර සැදී ඇත්දැයි නිතරම පරීක්ෂාකරබලන්න : ඔබේ දරුවාගේ කිරි දත්වල ඉතා කුඩා කුහරයක් හෝ කළු පැහැ  ලකුණක් ඇත්නම්, වහාම දරුවාව දන්ත වෛද්‍යවරයෙක් වෙත ගෙන යන්න.   එවිට ඔබේ දරුවාගේ දත් රෝග මුව පුරා පැතිරීමට පෙර සහ දරුවා වේදනාවට පත්වීමට  පෙර ආරක්ෂා කරගත හැක.
  • දරුවාගේ දත් හොඳින් මදින්න : ඔබේ දරුවාගේ දත්, දවසට දෙවරක් මදින්න. ඒ සඳහා මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් පාවිච්චියට යොදා ගන්න. ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් යොදා ගැනීමේදී ප්‍රවේශම් වන්න. එයට හේතුව එය බබාට ගිලුනහොත්, එමඟින් වෙනත් රෝග සැදීමට ඉඩ ඇති හෙයිනි.  එසේම කුමන වර්ගයේ දන්තාලේපයක් වුවත්, එය ඉතා  ස්වල්පයක් යොදා ගන්න.
  • දත් මැලියම් : දත් මැලියම් යනු දත්වල බැඳෙන කහ පැහැයෙන් යුක්ත ඉතා සියුම් ඵලකයකි. දත් හොඳින් පවිත්‍ර නොකළහොත්, එය දත් මත බැඳේ.  එය ක්‍රමයෙන් දත් දිරා යාම සහ දතේ කුහර සැදීම දක්වා පැතිරී යයි.  එමනිසා, ඔබේ ළඳරුවාගේ විදුරුමස් රාත්‍රී කිරි ආහාර වේල දුන්පසු හොඳින් පවිත්‍ර කළ  යුතුය.

ඔබේ දරුවාගේ ස්ථිර දත්

ඔබේ දරුවාට අවුරුදු 6 සම්පුර්ණ වනවිට, සාමාන්‍යයෙන් කිරි දත් වැටී ස්ථිර දත් ඒමට පටන්ගනී.  කිරි දත වැටීමෙන් පසු, ස්ථිර දත පැමිණ, දිවේ ආධාරයෙන් එය නියම ස්ථානයට පැමිණේ.  දරුවාට අවුරුදු 12 සම්පුර්ණ වනවිට, ස්ථිර දත් සියල්ල පැමිණ හමාර වේ.

කිරි දත් අතර ඇති හිඩැස්

සාමාන්‍යයෙන්, දරුවන්ගේ කිරි දත් අතර හිඩැස් ඇත.  එයට හේතුව නම්, ස්ථිර දත්, කිරි දත් වලට වඩා ප්‍රමාණයෙන් විශාල වීමයි.  එමනිසා ස්ථිර දත් වලට අවශ්‍ය ඉඩ ප්‍රමාණය සඳහා මෙසේ කිරි දත් අතර ඉඩ පරතරයක් ඇති වේ.  නමුත් ස්ථිර දත් ඒමේදී, එම පරතරය අවශ්‍ය පරිදි සැකසේ.  එමනිසා කිරි දත් අතර පරතරය සැළකිල්ලට ගත යුතු කරුණක් නොවේ.

ද්විත්ව දත්

දරුවන්ගේ ද්විත්ව දත් ඇතිවීම පොදු කරුණකි.  මෙසේ වන්නේ, කිරිදත් වැටීමට පෙර ස්ථිර දත් පිටතට ඒමට පටන් ගැනීම නිසයි.  එම අවස්ථාවේදී සථිර දත, කිරි දතට පසුපසින් නෙරා එනු ලැබේ.  එවැනි අවස්ථාවන්හිදී, මව්වරුන් තම දරුවා දන්තවෛද්‍යවරයෙකු වෙත ගෙන යා යුතුය.  එවිට එම වෛද්‍යවරයා කිරි දත ගලවා, ස්ථිර දතට නියම ස්ථානයට ඒමට කටයුතු කරුණු ලැබේ.

මවක් වශයෙන් ඔබේ දරුවන්ගේ දත් පිලිබඳ ඔබ ඉතා සැළකිලිමත් විය යුතුයි.  ඒ සඳහා ඔබේ ගර්භනී අවස්ථාවේ සිටම ඔබ ක්‍රියාකාරී විය යුතුයි. ඉහත සඳහන් කරුණු ඔබ පිලිපදීවී කියා අපි අපේක්ෂා කරමු.  ප්‍රමාද නොවී, අවශ්‍ය පියවර ගැනීමට අදම පටන් ගන්න!

#baby #babyhealthcare #babyteeth

note

You may also like
අලුත උපන් බිලිඳුන්ව සෞඛ්යම සම්පන්න ලෙස තබා ගන්නේ කෙසේද?
බබා නින්දට යොමු කරන්නේ කුමන වෙලාවටද ?
උකුණන්ගෙන් ඔබේ දරුවාගේ හිස පරිස්සම් කරගන්න
ඔබේ දරුවාගේ දත් රැක ගන්න