Home > දෙමාපිය දැනගැනිම පිණිස > ඔබේ දරුවා කියවන හොදම පොත ඔබේ ජීවිතයයි

ඔබේ දරුවා කියවන හොදම පොත ඔබේ ජීවිතයයි

mummypages.lk-Tiki-banner

“අම්මා ඇයි ඔයා ආච්චි අම්මට මැටි කෝප්පයක කන්න දෙන්නේ?

“ඒ එයා දැන් වයසයිනේ පුතේ. ඉතින් එයා කැමති ඒකෙ කන්න.

“එහෙනම් ඒක පරිස්සම් කරලා තියන්න අම්මා”

“ඒ ඇයි පුතා…???

“අම්ම වයසට ගියාම මමත් ඒකෙන් අම්මට කන්න දෙන්නම් අම්මත් කැමතිනේ…???”

මේ ඔබේ පුංචි පැටියා ඔබට කියූ වචනනම් හිතන්න එයින් ඔබට කෙතරම් හදවතට වේදනා දෙන කරුණක්ද කියල. ඔබේ කිරි  කැටියා ඔබේ කුසේ පිලිසිදගත්ද පටන් ඒ නොදරුවා ඔබේ ක්‍රියාකාරකම්වලට අනුව ක්‍රියාකරන බව ඔබ අත්දැකීමෙන් දන්නා බව මා දනිමි. එම පුංචි පැටියා මෙලොව එලිය දැකීමට පටන්ගත්දා සිට ඔබත් සමග ඔබේ උණුහුමට තුරුලුවී ඔබේ සිතැගි හදුනාගනී. ඔබේ ආදරය කරුණාව ආදී යහපත් ගුණාංග හදුනාගනී. යම්හෙයකින් ඔබ අතින් නොදැනුවත්ව හෝ සිදුවන වැරදි ක්‍රියාවන් නිසා ඔවුන්ද ඒවාට යොමුවීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩියි.

මෙසේ ඔවුන් ඔබෙන් දකින වැරදි ක්‍රියාවන් කීපයක් මෙසේ දැක්විය හැක.

  • පියා මත්පැන්වලට ඇබ්බැහිවීම.

ඔබ නිතර මත්පැනට ලොල්වූ පියෙක්නම් කිසිලෙසකින්වත් එය ඔබේ පුංචි දරුවා ඉදිරියේ සිදු නොකරන්න. දුම්පානය, මත්පැන් පානය කිරීම නිසා සිදුවන අනිටු විපාක බොහොමයකි. නමුත් ඒ බව ඔබේ පුංචි නොදරුවා නොදනී. පුතෙක්නම් ඔහු කුඩාකල සිටම සිදුකරන්නට පුරුදුවන්නේ තම පියා කරන දෙයයි. ඔහුගේ වීරයා ඔබයි තාත්තේ. ඔබ කැමතිද ඔබ මෙන් ඔබේ දරුවත් ඊට ඇබ්බැහිවී ජිවිතේ විදවනවා දකින්න?

  • නිතර පවුලේ අඩ දබර ඇතිවීම.

අම්මේ ඔබත් ඔබේ ස්වාමියාත් නිතර අඩ දබර සිදුකරගන්නවනම් ඒවා පුංචි දරුවා ඉදිරියේ කිසිදාක සිදු නොකරන්න. ඔවුන් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ සාමය සතුට ආදරය පිරි පවුලක්. ඔබට ගැටලුවක් පැන නැගුනිද එය විසදා ගැනීම සාකච්චා මාර්ගයෙන් සිදුකරන්න. සැමවිටම පවුලේ එකමුතුව වෙනුවෙන් කැපවී සිටින්න. දෙදෙනාම ආරවුල් ඇතිකරගන්නවට වඩා නිහඬවී පවුලේ සමගිය වෙනුවෙන් ඉවසීමෙන් කටයුතු කරන්න.

  • ඔබේ දෙමාපියන්ව නොසලකා හැරීම.

උපන්දා සිට ඔබ වෙනුවෙන් සිය සිරුරම වැයකළ ඔබේ මවත් ඔබ වෙනුවෙන් දුක් විද ඔබ උස මහත් කරන්නට වෙහෙසුන ඔබේ පියත් ඔබ නොසලකා හරිනම් එය මෙලොව ඇති සියලුම දහමයන්ට විරුද්ධව ඔබ සිදුකරගන්න මහා පාපයකි. ඔබ ඔවුන්ට දක්වන ආදරය දයාව ගෞරවය අත පය වාරු නැතිවිට ඔබ කරන ඇප උපස්ථාන මේ සියල්ලම හොදින් අවබෝද කරගන්නා ඔබේ පුංචි දරුවා දිනක ඔබට සලකන්නේ ඔබ ඔබේ දෙමාපියන්ට සැලකු ඉහලම ආකාරයෙනි. නමුත් ඔබේ දෙමාපියන් ඔබ වැඩිහිටි නිවාසවල තනිකරයිනම් එය ඔබේ  ජිවිතයේ සැන්දෑ සමයේදී ඔබටත් අත්විදීමට සිදුවිය හැකි බව මතක තබාගන්න. එය එදිනට ඔබට දරාගත නොහැකි වේදනාවක් වනු ඇත.

  • අනවශ්‍ය ලෙස විලාසිතා සිදු කිරීම.

විශේෂයෙන් ලස්සන හුරතල් පුංචි දුවක් සිටින මවක්නම් මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වියයුතුය. වර්තමානයේ  විලාසිතා ලොව ඉතාමත් විසිතුරුවී ඇත. මේවාට ඕනෑවටත් වඩා යොමුවන මව්වරු බොහෝ ඇත. “අම්මා” යන උදාරතර ආදරයේ වචනයට නිගරු කරමින් එම නාමය කෙලෙසන ආකාරයේ ඇදුම් පැළදුම්වලින් මහා මගට බසින ඇතැම් මව්වරු නිසා සමහර යොවුන් වයසේ සිටින දුවරුද සිටින්නේ මහත් අපහසුතාවයකිනි. ඔබ ලස්සනට ඇඳිය යුතුයි. නමුත් එය ඔබේ වයසට ඔබේ පෙනුමට වැදගත් ආකාරයෙන් තෝරාගතහොත් ඔබේ දියණියද ඊට අනුගතවමින් නිසිලෙස තම විලාසිතාවන් තෝරාගනු ඇත.

තවද ඔබ,

  • ගහකොළට සතා සිව්පාවුන්ට ආදරය දක්වන ආකාරය හා පරිසරය පිරිසිදුව රැකබලාගන්න ආකාරය
  • අසල්වැසියන්ට නෑදෑ හිතවතුන්ට සලකන ආකාරය
  • රටේ පොදු නීති රීතිවලට ගරු කරන ආකාරය
  • වෙලාවට වැඩකරන අකාරය
  • ආත්ම ශක්තියෙන් හා ආත්ම ගෞරවයකින් යුතුව ක්‍රියාකරන ආකාරය
  • ගෙදර දොර වැඩකටයුතු පිළිවෙලට හා පිරිසිදුව කරන ආකාරය
  • නැතිබැරි අහිංසක මිනිස්සුන්ට ආධාර උපකාර කරන ආකාරය
  • ආගම දහමට අනුව ජිවත්වන ආකාරය

මේ ආදී වශයෙන් ඔබ පිළිබඳව ඔබේ පුංචි දරු සිඟිත්තා නිගමනයකට පැමිණෙනු ඇත. එසේම ඉන් තමන් ජිවත් වියයුතු අයුරු තීරණය කරනු ඇත.

මෙය ලියන මාද මගේ පවුලේ නෑදෑයන් සමග සමරන එක් ගෞරවනීය අවස්ථාවක් ගැන ඔබට කීමට කැමැත්තෙමි. මගේ ආච්චි අතීතයේ සිට පවත්වාගන ආ ඉතාමත් හොද සිරිතක් ලෙස යම් හෙයකින් නිවසින් බැහැර යනවිටදී හෝ වෙනත් විශේෂ අවස්ථාවලදී හෝ නින්දට යාමට පෙර ආදී වශයෙන් දෙමාපියන් වැඩිහිටියන්ගේ දෙපා නැමදීම දැක්වියහැක. මෙය ලංකාවේ බොහෝ නිවාසවල සිදුවන බව මා දන්නා කරුණකි. එය අපිට අපේකම පෙන්වීමට හොදම ගුණාංගයකි. එලෙසම ඔවුන්ගේ ආශීර්වාදය අපේ ජීවිතය දිරියෙන් යුතුව ඉදිරියට ගෙනයාමට මගපෙන්වයි. මගේ පවුලේ අයද නෑදෑ අපි සැමදෙනාම එකට හමුවන මොහොතක් ලෙස අලුත් අවුරුද්ද සහ නත්තල දැක්විය හැක. එහිදී සියලුමදෙනා බුලත් හුරුළු ගෙන අපේ ආච්චිට සහ සීයට ගරු බුහුමන් දක්වමින් තෑගි ආදිය දෙමින් නමදින්නෙමු. එසේම සියලු දෙනාම එකිනෙක වයස් මට්ටම් අනුව තමන්ට වඩා වයසින් වැඩි සියලුම දෙනාට වඳිමින් ගරුබුහුමන් දක්වන්නෙමු. මෙය දකින අපේ පවුල්වල අවුරුද්දක් දෙකක් වයසැති පුංචි දරුවන්ද එසේ කිරීමට උත්සහ කරයි. එයට හුරුවෙයි. මෙය ඔබද දැක ඇති බව සිතමි.

දවසක් ඉන්දියාවේ විසූ අවිහිංසාවාදී සටනේ පුරෝගාමී මහත්මා ගාන්ධි තුමා හමුවීමට අම්ම කෙනෙක් සහ පුතෙක් ආවා. ඒ අම්මා මේ ගාන්ධි තුමාගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ මේ පුතා පැණිරස කෑමට බොහෝ ප්‍රියකරන අතර එයට ඇබ්බැහි වුයෙක් නිසා එය නවතා දීමට කුමක් හෝ කරන ලෙසයි. එවිට ගාන්ධි තුමා පවසා සිටියේ ඔබ ගොස් තව දින කිහිපයකින් එන්න එවිට මම ඔබේ ගැටලුවට පිළිතුරක් දෙන බවය. එයට ටිකක් කෝප වූ ඇය නමුත් දින කීපයකින් නැවත තම පුතාවත් රැගෙන ආවේ අදනම් කෙසේ හෝ විසදුමක් ලබාගෙන මිසක් යන්නේ නෑ යන ලෙස තරයේ සිත ගනිමිනි. පසුව ගාන්ධි තුමා ලගට ගිය ඇය ගාන්ධි තුමාට නැවත අර ප්‍රශ්නය යොමු කරමින් අදනම් කෙසේ හෝ විසදුමක් දෙන ලෙස ඉල්ලා සිටියාය. එවිට ගාන්ධි තුමා පුතා දෙස බලමින් පැණිරස වැඩිපුර කෑමෙන් සිදුවන අනිටු විපාක තේරුම්කර දෙමින් නැවත එසේ ප්‍රමාණය ඉක්මවා නොකන ලෙස අවවාද කරන ලදී. නමුත් එයින් සතුටට මෙන්ම කෝපයට පත් අම්මා ගාන්ධි තුමාගෙන් තරහින් යුතුව අසා සිටියේ එදා ඔබ මෙසේ අවවාද කලානම් අද මම මෙහෙම ආයෙත් ඇවිත් කරදර වෙන්න ඕනේ නෑනේ ඇයි ඔබ එදාම මේකට පිළිතුරක් නොදුන්නේ කියල. එවිට ගාන්ධි තුමා පිළිතුරු දෙමින් කියා සිටියේ “ඔබ යම් වැරැද්දක් කරමින් එය දරුවට කරන්න එපා කිව්වට කෙදිනකවත් එය දරුවා නොකර ඉන්නේ නැත. මමත් ඔබ එදා මේ දරුවා සමග පැමිණි දවස වනතුරුත් පැණිරස කෑමට ඇබ්බැහිවී හිටියා. ඔබට දින කීපයකින් එන්න කියල කිව්වේ මම මුලින්ම මගේ වැරැද්ද හදාගෙන ඔබේ දරුවට අවවාද කලයුතු නිසාවෙනි” යන ලෙසයි.

“අවවාදයට වඩා ආදර්ශය උතුම්” යන ලෙසද “ඔවා දෙනු පර හට තමා සම්මතෙහි පිහිටා සිට” යන ලෙසද සිංහලයේ රන්වන් පඬි වදන් ඇත. කකුළුවාගේ අම්මා ඇදේට යමින් දරුවන්ට කෙලින් යාමට කියන්නාක් මෙන් අද අපේ අම්මල තාත්තලා දරුවන්ට හොද මාර්ගයේ යාමට උපදෙස් දෙන්නේ තමන් එම වැරදි සිදුකරමිනි. ඉතින් මගේ ආදරණිය අම්මේ තාත්තේ අම්මල තාත්තල වෙන්න පෙරුම්පුරන ඔබ සැමදෙනාම මෙය කියවා තවත් එක් සටහනක් පමණක් ලෙස ඉවත දමනවාද නැත්නම් අනාගතේ ලෝකය බාරගන්නට ඉන්න ඔබේ පනවන් දරු පැටවුන්ට ඔබේ ජිවිත ආදර්ශයෙන් හොදම පාඩම කියාදෙනවද කියා හොදින් සිතා බලන්න. එය මියෙන තුරාවට අමතක නොවනු ඇත. එය අදුරු කුටියක දැල්වූ පහනක් වැනිය. ඒ පහන් සිලෙන් තවත් පහන් දස දහස් ගණනක් වුවද දැල්විය හැක.

#kindslife #babyknowledge #motherkidz

note

error: Content Protected © mummypages.lk