Home > අධ්‍යාපනය > ඔබේ දරුවා අන්තර්ජාලයේ සැරිසැරීමට ලැහැස්තිද?

ඔබේ දරුවා අන්තර්ජාලයේ සැරිසැරීමට ලැහැස්තිද?

අපේ දරුවන්ට ලෝකයේ සිදුවන වැදගත් දේ ගැන දැනුවත් වීමට අන්තර්ජාලය බොහෝ ප්‍රයෝජනවත් වන දෙයක්. නමුත්, තවමත් නොමේරු මනසක් ඇති දරුවන්ට, සීමාවක් නොපන්වා අන්තර් ජාලයේ සැරිසැරීමට ඉඩ දීමෙන්, ඔවුන්ට  අහයපතක් සිදුවීමට හැකියාව ඇත.  එමඟින් ඔවුන්ට මානසික පීඩනයක් ඇති වීමටත්, වරදට පෙළඹීමටත්, ශාරීරික හානි සිදු වීමටත් ඉඩ ඇතිවිය හැක.

ශ්‍රී ලංකාවේ දරුවන් අන්තර් ජාලයේ සැරිසැරීමෙන්, ජීවිත හානි ඇති කර ගැනීමට පවා පෙළඹුන බවත්, ෆේස් බුක් හරහා නන්නාඳුනන අය සමඟ සම්බන්ධකම් ඇති කර ගැනීමෙන් ලිංගික ප්‍රශ්ණ වලට පවා ගොදුරු වූ බැව් අපි දන්නා ඛේදනීය කරුණු වේ.

එය අන්තර්ජාලයේ වරදක්ද?  නැතහොත්, දරුවන් හිතුමතේ  අන්තර් ජාලයේ සැරිසරන්නට ඉඩ දීමෙන් සහ දරුවන්ට වගකීම් නියාමාකාරයට නොපැවරීමෙන් මේ දේ සිදුවීද?

දැන් සමාජයේ ඇති නවීන මඟ පෙන්වීම් හරියාකාර ලෙස අවබෝධ කරගෙන, ඒවාට  නියාමාකාරයෙන් පැහැදිළි මනසකින් ප්‍රතිචාර දැක්වීමට ඉගැන්විය යුතුයි.  ලෝකයේ ඇති නවීන තාක්ෂණික උපකරණයන් වන, අයි ෆෝන්, ලැප්ටොප්, වෙබ් කැෆේ, ටැබ්ස් වැනි දේට දරුවා හුරු කළ  යුතු අතර,  දරුවාට නිසියාකාරව එම දේවල් පරිහරණය කිරීමට අවධානයකින් යුතුව පෙරහුරුවක් ලබා දීමෙන්, ඔහු/ඇය අද දියුණු ලෝකයේ ආපස්සට නොයා, සමාජයේ වැදගත් ස්ථානයක් හිමිකර ගනී.

ශ්‍රී ලංකාවේ දරුවන් අන්තර් ජාලයට යොමු කළ යුතු ආකාරය :

බොහෝ දරුවන් තම දෙමව්පියන්ට වඩා නවීන ලෝකයේ අන්තර ජාලය පිළිබඳ දැනුවත් වී ඇත.  – මෙය වෙනස් කරන්න!  දරුවන් සමඟ වාඩි  වී, අන්තර්ජාලයේ සැරිසැරීමට ඔවුන්ට ඉඩදෙන අතර, ඔවුන්ගෙන් ප්‍රශ්ණ අසමින්, නොදන්නා දේ කියා දෙමින්, අන්තර් ජාලයේ ඇති ආරාක්ෂිත දේවල් පිලිබඳ දැනුවත් වී, දරුවන් වෙත මව්පියන්ගෙන් පාලනයක් ඇති කරන්න. දරුවන් අන්තර් ජාලයේ බැලිය යුතු දේවල් පමණක් බැලීමට ඉඩ දෙන්න.

අන්තර්ජාලයේ සැරි සැරීමට අවශ්‍ය වයස් කාණ්ඩ :

අවුරුදු 2 – 3 දක්වා – දරුවාව ඔබේ උකුළේ තබාගෙන කතාන්තර -පොත් හෝ සිඟිත්තන්ගේ අධ්‍යාපනයට සම්බන්ධ ක්‍රීඩා සමාජ සොයන්න.

අවුරුදු 4 – 7 දක්වා – දරුවන්ට සරිලන සයිට්ස් (sites) සෙවීමට කියා දෙන්න. දරුවා සමඟ විද්‍යුත් ලිපිනය හවුලේ තබාගෙන, දරුවාගේ ලිපි ගණුදෙනු සම්බන්ධයෙන් විමසිලිමත් වන්න.  දරුවාට දත්තයන් මුද්‍රණය කරන අයුරු සහ අන්තර් ජාලය හරහා එකිනෙකා සමඟ කතා කිරීමෙන් සිදුවන අයහපත් දේ පිලිබඳ කරුණු  නොවලහා කියා දෙන්න.

අවුරුදු 8 – 11 දක්වා – දරුවාට අවශ්‍ය පරිදි නීති මාලාවක් පනවන්න. දෙමව්පියන්ගේ නිසි  පාලනයක්  තබා ගන්න.  සැමවිටම දරුවා අන්තර් ජාලයේ කරනුයේ කුමක්දැ’යි පරීක්ෂා කරන්න.  නොදන්නා යහළුවන් අන්තර් ජාලය හරහා අල්ලාප සල්ලාපයේ යෙදෙද්දී, යම්කිසි නොමනා ඉල්ලීමක් හෝ කතාවක් කරයි නම්, ඒ ගැන දෙමව්පියන්ට කියන මෙන් දරුවන්ව දැනුවත් කරන්න.  දරුවාගේ වයසට නොනිසි අන්තර් ජාල සයිට් එකක් දරුවා සැරි සැරීමට පෙළෙඹෙයි නම්, ඔබ ඒ ගැන අවධානයෙන් සිටින්න.  දරුවන් කුඩා කළ, රහස් දේවල් සම්බන්ධයෙන් ඉතා කුතුහලයෙන් සිටින බව අමතක කරන්න එපා.  පරිඝනකය නිවසේ පොදු ස්ථානයක තබන්න. දරුවන්ගේ  කාමරවල තබන්න එපා.

අවුරුදු 12 – 14 දක්වා – නීති පැනවිය යුතුයි!  දරුවන්ට, ඔවුන්ගේ නියම නමින් සහ සත්‍ය වයසින් විද්‍යුත් ලිපිනයන් හෝ ගිණුම් සඳහා ලියා පදිංචි වෙන්න දෙන්න එපා.  උදා:  මදාරාජේ 2004.  සයිබර් වලින් සිදුවන නොයෙකුත් අකටයුතුකම් පිලිබඳ දරුවාව දැනුවත් කරන්න.  චැට් රූම් වලින් ඈත්ව හිඳින ලෙස දරුවාට අවවාද කරන්න.  දරුවා අන්තර්ජාලයේ සැරිසැරීම පිළබඳ පරීක්ෂාවෙන් සිටින්න.  ෆේස් බුක්, ට්විටර් (twitter) වැනි  සයිට්ස් වලින් දරුවාව ඈත් කර තබන්න.

අවුරුදු 15 – 18 දක්වා –  විශේෂිත දත්තයන් අන්තර් ජාලයෙන් සෙවීමට දරුවාව උත්සුක කරන්න (නිවාඩුවක් ගත කිරීමට යායුතු ස්ථානය වැනි දේ).  ඔබ මිළ දී ගැනීමට අරමුණු කරන උපකරණයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් ගැනීමට ඇති ස්ථාන, මිළ ගණන්, විවිධ වර්ග (brands) ආදිය සෙවීමට දරුවාව උනන්දු කරන්න.  දරුවාට අන්තර් ජාලයේ ඇති ප්‍රයෝජන කියා දෙන්න.  අනවශ්‍ය දේ පිලිබඳ දැනුවත් කරන්න.

ඔබේ දරුවා අන්තර්ජාලය පිලිබඳ ඉගෙනීමෙන් වළක්වන්න එපා. නමුත් ඔහුට හෝ ඇයට  සුදුසු දේ පමණක් කිරීමට ඉඩහරින අතර, සෑමවිටම දරුවා අන්තර්ජාලයේ කුමක් කරන්නේදැ’යි පරීක්ෂා කරන්න.