Home > දෙමාපිය දැනගැනිම පිණිස > ආගන්තුකයින් භයානකයි – ඔබේ දරුවා ඒ පිලිබඳ දැනුවත් විය යුතුයි

ආගන්තුකයින් භයානකයි – ඔබේ දරුවා ඒ පිලිබඳ දැනුවත් විය යුතුයි

දරුවන් සාමාන්‍යයෙන් අහිංසක පිරිසක්.  ඔවුන් හැමෝවම විශ්වාස කරනවා.  අවාසනාවකට,  නොයෙකුත් හේතූන් මත දරුවන්ගේ අහිංසක කමින් භයානක ප්‍රයෝජන ගැනීමට මාන බලන වැඩිහිටියන් ද මේ සමාජයේ සිටින බැව් අප අමතක කළ යුතු නොවේ.  ශ්‍රී ලාංකික කාර්යබහුල දෙමව්පියන්ට, මව්වරුන්ට සෑම වෙලාවකම දරුවන් වෙත තම අවධානය තබා ගැනීම අමාරු කාර්යයකි.   විශේෂයෙන්, දරුවන් පෙර පාසැල් අධ්‍යාපනය පටන් ගත්  පසුවත්, තම නිවසින් පිටත සමාජයේ නිදහසේ එහා මෙහා දුව පැනීමට පටන් ගත් පසුවත්, මෙය තරමක් අපහසු කාර්යයක් වේ.    ඔබ ඔබේ දරුවන්ව තමන් නොදන්නා වැඩිහිටියන්ගෙන් පරෙස්සම් විය යුතු ආකාරය, ඔවුන්ව බය නොකර දැනුවත් කිරීමෙන් ඔබට යම්කිසි මානසික නිදහසක් ලැබේ.  ආදර මව්වරුනි, ඔබේ දරවා ඔබේ නිරතුරු පරීක්ෂාවෙන් තොරව එහා මෙහා නිදහසේ යාමට පටන් ගත් පසු, ඔහුව/ඇයව පහත සඳහන් කරුණු වලින් දැනුවත් කිරීම යෝග්‍ය වේ.

  • ආගන්තුකයා යනු ඔබේ දරුවා කවදා හෝ නොදැකපු කෙනෙක් වේ.
  • පවුලේ කෙනෙක් දරුවා අසළ නොමැති නම්, කිසි කෙනෙක් දෙන කෑමක් හෝ බීමක් පිළිගන්න එපා
  • පවුලේ කෙනෙක් නොමැති නම්, කිසිවිටක, ආගන්තුකයෙකුගේ වාහනයකට නගින්න එපා
  • ඔබේ දරුවාට යම්කිසි රහස් අංකයක් කියා දෙන්න.  ඔබේ දරුවාව හදිසි අවස්ථාවක් කියා, පාසලෙන් එක්ක ඒමට යම්කිසි ආගන්තුකයෙක් පැමිණියහොත්, මෙම ආගන්තුකයාගෙන් එම රහස් අංකය විමසා, එය ඔහු දන්නේ නම් පමණක් ඔහු සමඟ නිවස වෙත යාමට එකඟ වන්න කියන්න.
  • ඔබ දරුවා සමඟ පොදු ස්ථානයක ගැවසේ නම්, සෑමවිටම ඔබට ඇසෙන පෙනෙන මානයේ ඔබේ දරුවාට සිටින්න කියන්න. දරුවා තනියම සිටීමෙන් ඔහුට/ඇයට යම්කිසි ආපදාවක් සිදුවිය හැක.
  • ඔබේ දරුවාගේ රහස්‍ය ස්ථාන ආගන්තුකයෙකුට ස්පර්ශ කිරීමට නොදෙන ලෙස ඔබේ දරුවාව දැනුවත් කරන්න. ඔබේ දරුවාට ආගන්තුකයෙක්ව ස්පර්ශ කිරීමට බල කිරීම නොපනත් ක්‍රියාවක් බව දරුවාට කියා දෙන්න.
  • ඔබේ දරුවා අපහසු තත්ත්වයකට පත් වන අයුරින් ආගන්තුකයෙක් ඔබේ දරුවාට යම්කිසි බලපෑමක් කළහොත්, ඔබේ දරුවාට කෑ ගසා “අහකට වෙන්න” කියමින් ආරක්ෂා සහිත ස්ථානයකට යන මෙන් ඉල්ලා සිටින්න.
  • ඔබේ දරුවාට ඔබේ නිවසේ ලිපිනය හෝ දුරකථන අංකය මතකයේ තබාගන්න කියන්න. ඔහු හෝ ඇය එය මතක තබා ගැනීමට තරම් කුඩා වැඩි නම්, ඇඳුමේ යටින් පිටතට නොපෙනෙන පරිදි එම අංකය ඝන කඩදාසියක ලියා ඇඳුමට සවිකර, ඒ පිලිබඳව දරුවා දැනුවත් කරන්න.
  • ආරක්‍ෂිත ආගන්තුකයින් (පොලිස් නිළධාරීන්) හෝ අනෙක් දරුවන්ගේ මව්පියන් (උදාහරණයක් වශයෙන්) දරුවාට කරදරයක් ඇති වූ විට, සහනයක් ඉල්ලීමට දරුවාට හඳුන්වා දෙන්න.
  • අන්තර්ජාලයේ නොදන්නා ආගන්තුකයින් සමඟ කතාබහ කිරීම පිළිබඳව දරුවාට අනතුරු හඟවන්න.

දරුවන්ට ඉක්මණින් අමතක වේ.  එමනිසා, ඉහත සඳහන් කරුණු ඔබේ දරුවාට හොඳින් වටහා දෙන්න.  අවාසනාවකට, අපි ජීවත් වන්නේ සර්ව සම්පූර්ණ ලෝකයක නොවේ. එමනිසා, නොදන්නා ආගන්තුකයින් හා කතාබහට නොයන ලෙස දරුවන්ව කළින්ම දැනුවත් කිරීමෙන්, ශ්‍රී ලාංකික මව්වරුන්ට දරුවන්ව ආරක්ෂිතව සහ සතුටින් තැබීමට හැකියාව ලැබේ.