Home > Latest Articles > අවුරුදු කමුද? සමරමුද?

ad-banner2

“මී අඹ අත්තේ කොහෝ කොහෝ

දොළොස් මහේ මගුල් දොහේ…

රබාන රත්වෙන නැකත් වෙලාවට

නලාව පිඹහන් කොහෝ කොහෝ..”

බක් මාසය කියන්නේ අපි පුල පුලා බල සිටින ඉතාමත් සතුට දනවන මාසයක්. මේ මාසය ආරම්භ කරන විටම සිදුවන පාරිසරික වෙනස්වීම් අපට සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලබන්නට ආසන්න බව පුන පුනා කියනවා. ඒ පිළිබඳව මුලින්ම අපට කියන්නේ අවුරුදු මාසය පුරාම අපි එක්ක රැදෙන කොහාය. ගස්වැල්වල ගෙඩි හටගැනීමට පටන්ගන්නෙත් මේ මාසයේය. විශේෂයෙන් එරබදු මල අවුරුද්දේ අලංකාරිත්වය පරිසරයට විදහා දක්වයි.

අම්මේ චුටි මල්ලි අවුරුද්දට හදන කැවුම් උනුවෙන්ම කනවා. මටත් ඕනේ.”

ලොකු දුව අච්චිටයි සීයටයි ගෙනියන්න තෑගි ගේනවද?”

මීලගට අපගේ මේ සුදානම කණා මුට්ටි බිදීමේ තරගයයි”

මේ අවුරුද්දත් එක්ක අපට නිවෙස් තුලින් ක්‍රීඩාපිටිවලින් අසන්නට දකින්නට ලැබෙන දේවල්. ශ්‍රී ලාංකිකයන් වන අපට සිංහල දෙමළ  අලුත් අවුරුද්ද වසරේ මහා ඉහලින් සමරන මංගල්ලයක් මෙන්ම ජාතික උත්සවයක්. රාශි චක්‍රය අනුව සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුද්ද ලෙස හදුන්වනවා. ලොකු පොඩි සැමට සතුට උතුරන කාල පරිච්චේදයක් වගේම ජාතින් දෙකක බැඳීම සනිටුහන් කරන අලුත් අවුරුද්ද සිරිත් විරිත්වලින් සමන්විතවූ සංස්කෘතික මංගල්ලයක්. වර්තමානයේ අවුරුදු කනවට වඩා අතීතයේ අපේ මුතුන් මිත්තෝ අවුරුද්ද මහා ඉහලින් සැමරුවා.

නිවෙස් තුලින් අවුරුදු ලබන්ට දවස් කීපයක සිටම ඔවුන් මෙම නැකතට සුදානම් වන ආකාරය ඉතාම චමත්කරයි.

  • කටුමැටි ගෑ ගෙවල්වලට අලුතින් මැටි තවරා ඔප මට්ටම් කරනවා.
  • ලිප් සුද්ද පවිත්‍ර කර ගොම තවරා නැවුම් ලිපක් බවට පත්කරනව.
  • කෙසෙල් කැන් ඉදවනවා
  • කැවිලි ජාති සාදා හට්ටි මුට්ටිවල අහුරනවා
  • අලුතින් ඇදුම් මහනවා
  • පුංචි ළමයි සිටින නිවෙස්වල ඔංචිලි හදනවා

මේ සෑමදේම එක්ක ඔවුන් අවුරුදු සිරියෙන් මුළු රටම එකලු කරනවා. නමුත් අද එම තත්වය දකින්ට ලැබෙන්නේ පිටිසර ගම්බද ආශ්‍රිතවය පමණයි. කුඩා දරුවන් ආසයි තම නිවසේම කැවිලි හදනවා බලන්න. එහෙත් ඇතැම් නිවාසවල කැවිලි නොහදා කඩවල්වල හදන කැවිලි ගෙනත් අවුරුදු මේසය රසවත් කරන්න උත්සහ ගනියි. එසේම ඔංචිල්ලාවක කුරුළු පිහාටුවක පාවෙන සුවය ලබන්නට පුංචි දරුවන්ට අවස්ථාවක් නැත. මාස 3ක් පුරා පාසලේ උගන්වපු පාඩම්වල පුනරීක්ෂණ කිරීමට අවුරුදු නිවාඩු කාලය වෙන් වෙයි. ඇතැම් දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයට තවත් මාස 4ක වැනි කාලයක් නිසා අවුරුදු සැමරීම හෝ යහළුවන් සමග නිවාඩු කාලේ විනෝද වීම තහනම්ය. අන් ළමුන් නෑගම් යද්දී ඔවුන් ශිෂ්‍යත්ව පන්ති යයි.

සිරිත් විරිත් පිළිබඳව කතා කිරීමේදී අපේ බොහෝ නිවාසවල පාහේ කිරි ඉතිරවීම වෙලාවට කළාවට සිදුකරන බව දැකගත හැක. වැඩ ඇල්ලීම, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමට මේසය වටා සහ නගරය බැංකු තුල සියල්ලෝම පෙළ ගැසුනත් අරුත්බර අලුත් අවුරුද්ද්දක් සැමරීමට අවශ්‍ය මානසික සුවය ඒකාග්‍රතාව ආදී නොමිලයේ ලැබෙන ජිවිතයට වටිනාම දේවල් එකතුකරගනීමට ආගමික ස්ථානවලට ගමන් කිරීමනම් සිදුවන්නේ ඉතා අඩුවෙනි. මට මතකයි ඉස්සර අපේ ආච්චි සුදු ඔසරිය ඇඳලා තෙල් මල් අරන් පන්සල් යනවා. ඇවිල්ල ගනුදෙනු කරන වෙලාවට ළිඳත් සමග ගනුදෙනු කරලා අපි හැමෝම එක්ක ගනුදෙනු කරනවා.

එසේම මවුපිය වැඩිහිටියන් නැමදීමද මෙහිදී ඉතාමත් වැදගත් කරතව්‍යයක්. බුලත් හුරුළු දී පෝලිමට සිට ඔවුන්ගේ දෙපා නමදිමින් තෑගිබෝග හුවමාරු කරගන්න වෙලාව පවුල් අතර සමගිය සමාදානය ඇතිවන මොහොතක්. නමුත් අද සමහර ගෙවල්වල පවුල් අතර විවිධ අසමගිකම් රණ්ඩු  සරුවල් නිසා අවුරුද්දට සියලුදෙනාම එක වහලක් යටට රැස්වීම ප්‍රතික්ෂේප කරයි. මෙය ඔවුන්ගේ දරුවන්ට වැරදි පුර්වදර්ශයකි. දිනක ඔවුන්ද වැඩිහිටියන් වූ පසු ඔබ කරගෙන ආ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් ඔවුන් විසින් සිදු කිරීමේදී මෙවන් වූ අසමගිකම් ඇතිකරගත හැක. එසේ ඇති වුවහොත් සමාජය තුල ඇතිවන තත්ත්වය පිළිබඳව ඔබට වැටහෙන්නේ නැද්ද ? එවිට අනාගතයේ සිරිත් වීරත් නොදන්න දරු පරපුරක් බිහිවේවි.

අප්‍රේල් මස 14 වන  සෙනසුරාදා දින පුර්වභාග 8.13ට උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට හා හා පුරා සුදානම් වෙමින් දවස් පැය මිනිත්තු තප්පර ගනිමින් සැමදෙනාම පාහේ දැන් දැන් බලා සිටිති. අවුරුද්දේ රබන් සුරල් හා කාහල නාදයෙන් පරිසරයට නවමු පණක් ලබාදෙන විට මහා හඩින් පුපුරන රතිඤ්ඤා හඩ මැද අවුරුදු ලබද්දී සියලු දෙනාගේම මුහුණේ අලුත් බලාපොරොත්තු කිරි මුට්ටිය තුලින් දෝර ගලයි. මෙහිදී හැම වසරකම පාහේ රතිඤ්ඤා පිපිරවීම නිසා අනතුරට බඳුන් වූ ලොකු කුඩා පුද්ගලයන්ට එදින අවුරුදු සැමරීමට සිදුවන්නේ රෝහලේ ඇඳක් මතය. ඉන් බොහොමයක් අනතුරු ඔවුන්ගේම නොසැලකිලිමත්කම නිසා සිදු වී ඇත. තවත් සමහර ළමුන් රතිඤ්ඤා පිපිරවීම අත්හදා බැලීමට ගොස් හෝ ඒ අසල සිටීමෙන් අනතුරට ලක්වූ අයයි. අපි අවුරුදු සැමරිය යුතුයි. නමුත් ඒ තවත් කෙනෙක්ගේ ජීවිතයට හානිකරන ආකාරයෙන් නොවේ. එසේම විශේෂයෙන් ඔබ රතිඤ්ඤා නිවසට ගෙනෙන්නේ නම් දරුවන්ගෙන් ඒවා ඈත්කර තබන්නට අමතක කරන්න එපා. විශේෂයෙන් මෙම කාල පරිච්චේදය තුල දරුවන් ගැන හොද අවධානයෙන් පසුවිය යුතු බව මා ඔබට මතක් කිරීමට කැමති. ඔවුන් සැමවිටම අලුත් අලුත් දේ අත්හදා බැලීමට පෙළඹේ. එමනිසා මේ අවුරුදු කාල පරිච්චේදය තුල විශේෂයෙන් රසකැවිලි හැදීමට තෙල් තාච්චිය ලිපේ තිබෙන වෙලාවට, ඔංචිලි පදින වෙලාවට, අහල පහල හෝ රතිඤ්ඤා දල්වන විට එමෙන්ම ඔබේ දරුවාව යම් බඩු භාණ්ඩයක් ගෙන ඒමට කඩපිල වෙත යවන වෙලාවට මේ ආදී සෑම විටම ඔබ කෙතරම් කාර්‍යබහුල බහුල උවත් කල්පනාකාරී විය යුතු බව හොදින් මතක තබාගන්න.

වැඩ ඇල්ලීම ආහාර අනුභවය හා ගනුදෙනු කිරීමේ නැකතේ සියලු දෙනාම මේසය වටා රොක්වී කැවිලි පෙවිලි රස බලමින් හා ඒවා අනිත් අය සමග බෙදා හදාගෙන කෑමෙන්ද අසල සිටින තමන්ගේ නෑදෑ හිතවතුන්ට කැවිලි පිඟානක් යවා ඒවා හුවමාරු කරගැනීමද ඉතාමත් අනර්ග කටයුත්තක් වන අතර මෙය අපේකම හා එකමුතුකමින් බැඳීම මොනවට කියාපායි. මේ සියලු දේ අස්සේ තවත් පිරිසක් මෙම නැකත එනතුරු මේසයක් වටා රොක්වී දෑස් දල්වාගෙන ඉවසුමක් නැතිව බලා සිටි. නැකත උදාවූ වහාම ඔවුන් කදිමට වැඩ අල්ලන අතර ඉන්පසු දවස නිමවන තෙක්ම වැඩ අල්ලා තමන් සමග එකට මේසයේ සිටින නෑ හිතවතුන් සමග හෝ අසල්වැසියන් සමග ගනු දෙනු කිරීමට යාමෙන් අලුත් අවුරුද්දේ පිරිසුදු නැවුම් බව විනාශ කරයි. එය ඔවුන්ට වගක් නැත. ඉස්පාසුවක් නැතුව මුඩිය වීවෘත කරන ඔවුන්ගේ ඒකායන අරමුණ එක බෝතලයක් නොව බෝතල් කීපයක්ම තොලගෑමය. මෙයින් භයානක රිය අනතුරු පවා සිදුවේ. මන්දයත් නෑගම් ගොස් මදුවිතෙන් හොද හැටි සප්පායම් වන ඔවුන් තමන් නැවත නිවසට යායුත්තේ වාහනයක් පැදවීමෙන් බවද අමතක වීමට තරම් එයට වහ වැටේ. තමන් විසින් කරන මෙවැනි වැරදි නිසා සෑම වසරකම අවුරුදු දිනයන් ඇතුලත අහිංසක මිනිසුන් පුංචි දරුවන් තම ජීවිතවලින් වන්දි ගෙවයි. එසේම මත්පැන් හොද හැටි පානය කරමින් පවුල් ආරවුල් ගැන කතාකරමින් රණ්ඩු සරුවල් ඇතිකරගන්න අවස්ථාවක් ලෙස අවුරුද්ද නොසලකන්න. එහිදී විය යුත්තේ පවුලේ සියලුම නෑදෑ හිතවතුන් එකට එක්වී අවුරුද්දේ සතුට ප්‍රීතිය නියමාකාරයෙන් භුක්ති විඳීමයි. එහෙම නැතුව ඔබේ දරු දැරියන්ට එයින් වැරදි ආදර්ශයක් දෙන්න එපා. අවුරුදු සැමරිය යුතුයි. නමුත් ඒ තව කෙනෙක් අපහසුතාවයට පත්කිරීමෙන් හෝ තමන් අනතුරට පත්වීමෙන් නොවේ. එසේ සිදුකරන පුද්ගලයන් අවුරුදු සැමරීමක්නම් නොකරයි. ඔවුන් කරන්නේ අවුරුදු කෑමකි.

එසේනම් මෙදා අවුරුද්දවත් අනතුරුවලින් අවමවූ සතුට උතුරන ශ්‍රී සුබ අවුරුද්දක් කිරීමට සියලුදෙනාම සිතට ගනිමු. අපේකම රැකගනිමින් අනාගත පරපුරට අපේ උරුමය හා සංස්කෘතිය දායාද කරමු.

#sinhalahindunewyear #aurudu #nekath

ඔබ සැමට වාසනාවන්ත සුබ නව වසරක් වේවා..!

error: Content Protected © mummypages.lk